සමාජ මාධ්‍ය ඔස්සේ ගැහැණු ළමුන් අපයෝජනයට ලක් කළ 7ක් අත්අඩංගුවට

58

සමාජ මාධ්‍ය මගින් දැරියන්ගේ පින්තූර ලබාගෙන එම පින්තූරවලට නිරුවත් ඡායාරූප එක් කර ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට බිය වද්දා, ගැහැණු ළමයින් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බොරැල්ල ප්‍රදේශයේ පාසල් සිසුවියක් මෙලෙස බිය ගන්වා අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණ අනුව ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

තවත් සැකකරුවන් රැසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව ද සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හත් දෙනා වයස අවුරුදු විස්සට අඩු තරුණයන් වන බවත්, ඒ අතර පාසල් සිසුන් ද සිටින බවත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කියා සිටියා.

—————————————————————-
විශේෂ ප්‍රවෘත්ති නිවේදනය

අන්තර්ජාලය හරහා දැරියන් බියවද්දා, ලිංගිකව අපයෝජනය සිදු කළ 7ක්ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ අත්අඩංගුවට

අන්තර්ජාල සමාජජාල මාධ්‍ය හරහා ළමයින්ගේ පින්තූර රැගෙන, එම පිංතූරවලට නිරුවත් ඡායාරූප බද්ධ කර, ඒවා අන්තර්ජාලයට මුදා හරින බව ප්‍රකාශ කරමින් ළමයින් බිය වද්දා, ගැහැණු ළමයින් ලිංගික අපයෝජනයට ලක් කරනු ලබන කණ්ඩායමක් පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන හා අන්තර්ජාල අපරාධ විමර්ශන ඒකකය විසින් විමර්ශන ආරම්භ කර ඇත.

එකී විමර්ශනවල ප්‍රතිඵලයක් ලෙස බොරැල්ල ප්‍රදේශයේ පාසල් සිසුවියක් අන්තර්ජාලය ඔස්සේ බිය වද්දා, දැරිය වරින්වර අවස්ථා ගණනාවකදී, විවිධ ස්ථානවලට ගෙන ගොස්, ස්ත්‍රී දූෂණයට හා බරපතල ලිංගික අපයෝජනයට ලක් කළ පුද්ගලයින් 7දෙනෙකු මේ වනවිට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකය මගින් අත් අඩංගුවට ගෙන, කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති අතර, සැකකරුවන් 2020.02.17 දින හඳුනා ගැනීමේ පෙරටිටුවකටද ඉදිරිපත් කොට තිබේ. මෙම අපරාධයට සම්බන්ධ තවත් සැකකරුවන් රැසක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන තව දුරටත් ක්‍රියාත්මකය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලුදෙනා අවුරුදු 20ට අඩු තරුණයින් වන අතර, පාසල් සිසුන්ද ඒ අතර සිටීම දෙමව්පියන්ගේ හා ගුරුවරුන්ගේ අවධානයට යොමු වියයුතු විශේෂ කරුණකි.

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ, නියෝජ්‍ය සභාපති විශ්‍රම ලත් මහාධිකරණ විනිසුරු නීතිඥ සුජාතා අලහප්පෙරුම, අධ්‍යක්ෂ ජනරාල් අනෝමා සිරිවර්ධන යන මහත්ම මහත්මීන්ගේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ, ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ස්ථානාධිපති N. කදිරගාමර් මහතා විසින් විමර්ශනය පවත්වා, චූදිතයන් අධිකරණයට ඉදිරිපත් කර ඇත. මෙම විමර්ශනය සඳහා උ.පො.ප. බණ්ඩාර, කා.පො.සැ. චිත්‍රා (588), පො.සැ. සිතුම් (60348), පො.කො. ජනිත් (61779), පො.කො. උදිත (61837), පො.කො. පාලිත (75229) යන නිලධාරීන් දායකත්වය සපයා ඇත.

මහාචාර්ය මුදිත විදානපතිරණ
සභාපති
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

Your Comments