විනිසුරු තීරණ ලෝකෙටම විහිලුවක් වෙයි – පල්ලියගුරුටත් චෝදනා

1104

ලෝක කුසලාන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ 10 වන තරගයේ විනිසුරු තීරණ සම්බන්ධයෙන් පාර්ශව රැසක දැඩි විවේචනයට ලක්ව තිබෙනවා.

එම කොදෙව් – ඔස්ට්‍රෙලියා තරගය ඊයේ පැවැතියේ එංගලන්තයේ Nottingham හි දී.

වත්මන් ලෝක ශූර ඔස්ට්‍රෙලියාව තරගය ජය ගත්තේ ‘ක්‍රිකට් අයස්කාන්තය’ යළි තහවුරු කරමින්.

කාසියේ වාසිය දිනාගත් කොදෙව්වන් පළමුව පහර දෙන ලෙස ඔස්ට්‍රේලියාවට ආරාධනා කළා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව ලකුණු 288ක් ලබා ගත්තා.

ඉලක්කය හඹා ගිය කොදෙව්වන්ට පන්දු ඕවර 50කදී කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 273ක් පමණයි.

ආන්දෝලනාත්මක විනිසුරු තීරණ නොවන්නට කොදෙව්වන්ගේ ඉරණම වෙනස්වීමට ඉඩ කඩ තිබුණා.

විනිසුරු තීරණ නැවත විමසීමේ ක‍්‍රමවේදය ඔස්සේ පමණක් මෙම තරගයේ දී ක‍්‍රීඩකයින් විසින් යළි ආපසු හරවන ලද තීරණ ප‍්‍රමාණය 4ක්.

සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල් මෙම තරගයේ දී තෙවරක් දැවී ගිය බව විනිසුරුවන් සංඥා කළ ද පසුව අණාවරණය වූයේ එම අවස්ථා තුනේ දී ම ඔහු දැවී නොගිය පිතිකරුවෙකු බවයි.

පළමු අවස්ථා දෙකේ දී ක‍්‍රිස් ගේල් විනිසුරු තීරණ නැවත විමසීමේ ක‍්‍රමවේදය යොදා ගනිමින් තමාට එරෙහිව දුන් තීරණ යළි තමාට වාසිදායක වන පරිදි සකස් කර ගත්තා.

කෙසේ වෙතත් තෙවැනි අවස්ථාවේ දී ඔහුට එම වාසනාව හිමි නොවූයේ අදාළ පන්දුවේ දී ඔහු දැවී ගිය පිතිකරුවෙකු ලෙස තෙවන විනිසුරු ද විනිසුරු තීිරණ නැවත විමසීමේ ක‍්‍රමවේදයේ දී ද තහවුරු කිරීම හේතුවෙන්.

පන්දු යැවීමේ නිරතව සිටියේ Mitchell Starc.

එම පන්දුවේ දී ඔහු නීත්‍යානුකූලව දැවී ගිය පිතිකරුවෙකු වුව ද ඊට පෙර පන්දුව නිපන්දුවක් බව පසුව අණාවරණය වුණා.

ඒ රුපවාහිනී පුනර්රූපන ඔස්සේ.

ඒ අනුව ක‍්‍රිස් ගේල් දැවී ගිය පන්දුව සැබවින්ම නිදහස් පහරක් හිමි පන්දුවක් විය යුතුයි.

කෙසේ වෙතත් විනිසුරු විසින් ඊට පෙර පන්දුව නිපන්දුවක් ලෙස සටහන් නොකිරීම නිසා ක‍්‍රිස් ගේල්ට නිදහස් පහරක් හිමි නොවූ අතර ඔහු එම පන්දුවෙන් දැවී ගියා.

මෙම විනිසරු තීරණ පිළිබද ජාත්‍යන්තර ක‍්‍රිකට් විස්තර විචාරක මයිකල් හෝල්ඩින් සහ කොදෙව් ක‍්‍රීඩක කාර්ලස් බ‍්‍රැත්වෙයිට් ද දැඩි ලෙස විවේචනයට ලක් කර තිබුණා.

තීරණ රැසක් කොදෙව්වන්ට අවාසි සහගත ලෙස ක‍්‍රියාත්මක වූ බව ද ඔවුන් පෙන්වා දෙනවා.

මෙම තරගයේ විනිසුරුවන් ලෙස කටයුතු කළේ ශ‍්‍රී ලංකාවේ රුචිර පල්ලියගුරුගේ සහ නවසීලන්තයේ Chris Gaffaney.

දකුණු අප්‍රිකාවේ Marais Erasmus තෙවන විනිසුරුයි.

Your Comments