විකිලීක්ස් නිර්මාතෘ තානාපති කාර්යාලයේ දී අත්අඩංගුවට

30

විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන් අසාන්ජ් (Julian Assange) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මහා බ්‍රිතාන්‍යයේදී ලන්ඩන් නුවර ඉක්වදෝර තානාපති කාර්යාලයේ දී.

අධිකරණයට භාර වන ලෙසට කළ නියෝගයකට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් විකිලික්ස් නිර්මාතෘවරයා අත්අඩංගුවට ගත් බවයි බ්‍රිතාන්‍ය පැවසුවේ.

තානාපති කාර්යාලයට බ්‍රිතාන්‍ය මෙට්‍රොපොලිටන් ආරක්ෂක අංශවලට ඇතුළුවීමට ඉක්වදෝර බලධාරීන් පියවර ගෙන තිබුණා.

ජුලියන් අසාන්ජ් ස්වීඩනයට පිටුවහල් කිරීම වළකාලීමට වසර 7කට පෙර ඉක්වදෝර තානාපති කාර්යාලයේ සරණාගත භාවය ලබා ගත්තා.

ජුලියන් අසාන්ජ් පිටුවහල් කිරීමට තීරණය කර තිබුනේ අපචාර චෝදනාවක් සම්බන්ධයෙන්.

මේ අතර ජාත්‍යන්තර සම්මුතීන් තවදුරටත් කඩ කිරීම හේතුවෙන් ජුලියන් අසාන්ජ්ගේ සරණාගතභාවය අත්හිටුවීමට පියවර ගෙන ඇති බව ඉක්වදෝර ජනාධිපති Lenín Moreno සඳහන් කළා.

බ්‍රිතාන්‍ය ස්වදේශ ලේකම් Sajid Javid ට්විටර් පණිවුඩයකින් අවධාරණය කර ඇත්තේ ‘නීතියට ඉහළින් කිසිවෙකු නැත’ යන්නයි.

විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව තවදුරටත් බල පැවැත්වෙන බව බ්‍රිතාන්‍යයේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා තීන්දු කළා.

මෙම වරෙන්තුව නිකුත් කළ ‘අරමුණ නැති වී ගොස්’ ඇති හෙයින් එය ඉවත් කර ගන්නා ලෙසට අසාන්ජ් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලීමක් කළ අවස්ථාවේ අධිකරණය මේ බව දන්වා තිබුණා.

ජුලියන් අසාන්ජ්ට එරෙහිව වරෙන්තුව නිකුත් කෙරුණේ 2012 වසරේ දී ලන්ඩන් නුවර එක්වදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන සරණාගතභාවය පැතීම හේතුවෙන්.

1971 ජුලි 03වන දින ඕස්ට්‍රේලියාවේ දී උපන් අසාන්ජ් 47වන වියේ පසුවනවා.

Your Comments