වසර 37ක් පාලනය හෙබවූ මුගාබේ අභාවප්‍රාප්ත වෙයි (PHOTOs)

17

දශක තුනකට අධික කාලයක් සිම්බාබ්වේ පාලනය හෙබවූ රොබට් මුගාබේ (Robert Gabriel Mugabe) මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

95 වන වියේ පසු වූ ඒ මහතා පසුගිය අප්‍රේල් මාසයේ සිට සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලැබූ බවයි පවුලේ ඥාතීන් දක්වා ඇත්තේ.

සිම්බාබ්වේ එක්සත් රාජධානියෙන් නිදහස දිනා ගැනීමෙන් පසු පළමු නායකයා වූයේ ද රොබට් මුගාබේ මහතා යි.

ඔහුහේ වසර 37ක පාලන බලය බලයෙන් අවසන් වූයේ 2017 නොවැම්බරයේ හමුදා කුමන්ත්‍රණයකින් මුගාබේ නෙරපා හැරීම හේතුවෙන්.

නිදහසින් පසු සිම්බාබ්වේ හි පැවති පළමු මැතිවරණයෙන් 1980 දී රොබට් මුගාබේ අගමැති ධුරයට පත් කෙරුණා.

1987 දී ඔහු එම ධුරය අහෝසි කොට ඒ වෙනුවට ජනාධිපතිධුරය භාර ගත්තා.

මුගාබේ උපත ලැබුවේ 1924 පෙබරවාරි 21 වන දින එවක රොඩේෂියාවේ දී.

1964 දී රොඩේෂියා රජය විවේචනය කිරීමෙන් පසු ඔහු නඩු විභාගයකින් තොරව දශකයකට වැඩි කාලයක් සිරගත කරනු ලැබුවා.

1973 දී ඔහු සිරගතව සිටියදී සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමයේ (සානු) සභාපතිවරයා ලෙස තේරී පත් වූ අතර ඔහු ආරම්භක සාමාජිකයෙක්.

සිම්බාබ්වේ බහුතර කළු ජාතිකයන් සඳහා සෞඛ්‍ය සහ අධ්‍යාපන සේවා පුළුල් කිරීම සම්බන්ධයෙන් ඔහුගේ මුල් පාලන කාලය ඇගයීමට ලක්වූ නමුත් ඔහුගේ පසු කාලය තුළ අයිතීන් අවභාවිත කිරීම් සහ දූෂණ වාර්තා වූවා.

දිනමිණ වාර්තාවක් පහතින්….


 ‘රොබට් මුගාබේ‘ ගතින් කෙතරම් දුබලව සිටියත් ඔහුගේ රට වැසියන්ටත් ලෝක ප්‍රජාවටත් ඒකාධිපති පාලකයෙකි. පසුගිය වසරේදී ඔහු අප්‍රිකානු සංගමයේ සැසියක් අමතමින් කියා තිබුණේ දෙවියන්වහන්සේ සමීපයට කැඳවාගන්නා තුරු, එනම් මරණය තුරු තමා රට කරවන බවකි. පාලනය හෙබවූ වසර තිස්හතක කාලය තුළදී කිසිවිටෙක සර්ව සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වීමට උනන්දු නොවු මුගාබේගේ දරදඬු පාලනයෙන් හෙම්බත්ව සිටින සිම්බාබ්වේ වැසියන්ට ඉවසනවා හැරෙන්නට අන් විකල්පයක් තිබු‍ණේ නැත. සිය පාලන කාලය තුළදී රට මුහුණදුන් ආර්ථික පරිහානිය, දරිද්‍රතාවය, උද්ධමනය හා ආහාර අහේනිය වැනි අර්බුද හමුවේ නොසැලී සිටි මුගාබේට පසුගිය දින කිහිපය ගතකළේ ආඩම්බරයෙන් උදම් අනමිනි. සෞඛ්‍ය සංවිධානය විසින් ඔහු එහි සෞඛ්‍ය සේවා තානාපතිවරයකු ලෙස පත්කළ බැවිනි. ආන්දෝලනාත්මක වූ මෙම පත්වීම ලද සැණින් සිය අධිකාරී බලය තවදුරටත් තහවුරු කරගැනීමටත්, ප්‍රතිරූපය පුම්බා ගැනීමටත් මුගාබේ එය භාවිතයට ගත්තද ලෝකයෙන්ම එල්ලවඋ විරෝධය හමුවේ මෙම අභූත තීරණය අවලංගු කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානයට සිදුවිය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘සුහදතා තානාපති‘ ( Goodwill Ambassador ) යන සන්නාමයෙන් පිදුම් ලැබූ මුගාබේට ඉන් පැවරුණු වගකීම් රාශියකි. අප්‍රිකාව පුරා හදවත් රෝග, පිළිකා හා දියවැඩියාව වැනි බෝ නොවන රෝගවලට එරෙහිව එක්සත් ජාතින් විසින් ගෙන යන සටනේ සම්බන්ධිකාරකවරයකු ලෙස කටයුතු කිරීම ඉන් එකකි. එපමණක්ද නොව අප්‍රිකානු ප්‍රජාව අතර දුම් හා මත්පැන් පානය අවම කරමින් දෛනික පෝෂණය ඉහළ නැංවීමටත්, ව්‍යායාම වැඩසටහන් වැඩිදියුණු කිරිම සඳහා නව ප්‍රතිපත්ති හඳුන්වාදීමට අප්‍රිකානු රජයන් උනන්දු කරවීමද මුගාබේගේ වගකිමක්ව තිබිණි. සිය රාජ්‍ය නායකයාට පැවරුණු මෙම සුවිශේෂී තානාත්තරය පිළිබඳව ප්‍රමෝදයට පත්වූ මුගාබේගේ ඇමතිවරුන් නම් කියා සිටියේ ඔහු කවදත් බෝ නොවන රෝග දුරලීම වෙනුවෙන් ඇපකැපවී ක්‍රියා කළ අයකු බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය නියෝජනය කරමින් තමන් ගත් මෙම තීරණය සාධාරණීකරණයට ලක් කරමින් එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා වන වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩ්හනොම් ගෙබ්රියෙසුස්ද මුගාබේ සම්බන්ධයෙන් මුව නොසෑහෙන ප්‍රශංසාවක් කර දී තිබිණි. අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසන්නේ සිම්බාබ්වේ රාජ්‍යය සිය රටවැසියන්ට සෞඛ්‍ය සේවා ලබාදීමේදී අනුගමනය කරන ප්‍රතිපත්තීන්ගේ හරය ලෙස, ගෝලීය සෞඛ්‍ය ආවරණයට මුල් තැන දෙන රටකි. නමුත් මුගාබේ බලයට පත්ව ගෙවුණු දශක හතරකට ආසන්න කාල පරිච්ඡේදය දෙස බැලිමේදී එවැන්නක් පෙනී යන්නේ නැති බව ලෝක බලවතුන් එකහෙලාම කියා සිටියහ. හිටපු ඇමරිකානු ජනපති බරක් ඔබාමාගේ රාජ්‍ය කාලයේදී එක්සත් ජාතින්ගේ ඇමරිකානු තානාපතිවරිය වු සමන්තා පවර්ස් ඒ අතර කැපී පෙණිනි.

ඔහුගේ පාලනය යටතේ ගෙවුණු 1985 – 2003 අතර කාලයේදී සිම්බාබ්වේ මුහුණ දුන් උද්ධමනය හා ආර්ථික කඩා වැටීම ලොව අන් කිසිඳු රටක් කිසිඳු කාලයකදී හෝ මුහුණ දුන් ව්‍යසනයකට සමාන කළ නොහැක. එම කාලයේදී රට ගිලගෙන පැවැති දරිද්‍රතාවය හා ආර්ථික පරිහානිය කෙතරම්ද යත් 1985දී අවුරුදු හැටඑකක්ව පැවති එරට ආයු අපේක්ෂාව 2003 වන විට අවුරුදු හතළිස්හතර දක්වා පහත බැස තිබිණි.

මේ දක්වාත් එහි සැලකිය යුතු ප්‍රගතියක් ලැබීමට මුගාබේ රජයට හැකිව නැත. ආර්ථික අර්බුදය එහි උච්චස්ථානයට ළඟාව පැවති 2009 වසර වන විට මිලියන හතක්වූ සිම්බාබ්වේ වැසියන් පිරිසකගේ එනම්, රටෙන් තුනෙන් දෙකකට වැඩි ජනගහණයකගේ කුසගිනි නිවා දමමින් සිටියේ එක්සත් ජාතීන් විසිනුයි. රට මුහුණ දී සිටි මෙම ආර්ථික අහේනියේ පෙරගමන්කරුවා වුයේද මුගාබේ ය. දේශපාලන වාසි තකා එරට ආර්ථිකයේ කොඳුනාරටිය බඳු සුදු ජාතීක ගොවි‍පොළ හිමියන්ගේ ඉඩම් බලහත්කාරයෙන් පැහැරගෙන ඒවා කැබලි කොට යළි බෙදාහැරීම මෙම අර්බුදයේ හේතු මූලය විය. තමාගේ අදුරදර්ශී ක්‍රියාකලාපය රට එවන් ආගාධයකට ඇද දැමීමට මුල් වුවත්, මුගාබේ එකහෙළාම කියා සිටියේ තමා මිය යනතුරු ජනපති ධුරය අත්නොහරින බවයි. ඔහුගේ බල ලෝභී ඒකාධිපති මානසිකත්වය කියා පෑමට එම ප්‍රකාශයම වුවද සෑහේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා හා සිම්බාබ්වේ රජය මුගාබේගේ සෞඛ්‍ය සේවා ප්‍රතිපත්තීන් පිළිබඳව ප්‍රශංසනාත්මක මුඛයෙන් කතා කළත්, මුගාබේගේ ක්‍රියා කලාපයෙන් පෙනී යන්නේ ඔහුට තමාගේම සෞඛ්‍ය සේවා වැඩසටහන් පිළිබඳව විශ්වාසයක් නැති බවය. 2008 වසරේදී පුරස්ථි ග්‍රන්ථි පිළිකාවකින් පීඩා විඳින බව අනාවරණය කරගත් දින සිට මේ දක්වා මුගාබේ ප්‍රතිකාර ලබන්නේ සිංගප්පුරුවෙන් හා මැදපෙරදිග රටවලිනි. තම රෝගයට ප්‍රතිකාර ලැබීමට තම රටේ සෞඛ්‍ය සේවය කෙරෙහි ඔහුට විශ්වාසයක් නැති හැඩය. බෝ නොවන රෝග ව්‍යාප්තිය මැඬලීමට ඇප කැපවී සිටින බව කියැවෙන මුගාබේ සිය රෝගය සම්බන්ධයෙන් චෝදනා කරන්නේ තමාගේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සිටින බව කියැවෙන ඔහුට විරුද්ධව කටයුතු කරන පාර්ශ්ව වෙතයි. ඔවුන් විසින් තමා රවටා අනුමත කළ අඩු පෝෂණ ආහාර රටාව පිළිකාවට මඟපැදූ බව මුගාබේගේ මෙන්ම ඔහුගේ බිරිය ග්‍රේස්ගේද මතයයි. තම ජීවන පැවැත්ම සම්බන්ධයෙන් බාහිර පාර්ශ්වයන් කෙරෙහි විශ්වාසය තබන්නකු කලාපයේ සෙසු රටවල රාජ්‍ය නායකයින් බෝ නොවන රෝග මැඩලීමට දිරිගන්වන්නේ කෙසේද යන්නද ජාත්‍යන්තරය ප්‍රශ්න කළහ .

මෙම තීරණය ප්‍රකාශයට පත්වීමත් සමඟ ඊට එරෙහිව දසතින් නැඟී ආ විරෝධතා අතර පළමු වෙඩි මුරය එල්ල කළේ බ්‍රිතාන්‍ය රජයයි. මෙම නව සන්නාමයෙන් මුගාබේට ලෝක සෞඛ්‍ය සංවිධානය තුළ විධායක භුමිකාවක් හිමි වූයේ නැත. නමුත් ඉන් ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය සෞඛ්‍ය සේවා නඟා සිටුවීමට දරන උත්සාහය අවතක්සේරුවට ලක් කෙරෙන බවට බ්‍රිතාන්‍ය අනතුරු අඟවා තිබිණි.

අනෙක් අතට සිම්බාබ්වේ රජය සමඟ සිදුකෙරෙන අවි ගණුදෙණුවලට එරෙහිව සම්බාධක පනවා ඇත්තේ එක්සත් ජාතීන් විසින්මය. ප්‍රජාතන්ත්‍රවාදය, මානව අයිතීන් හා නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රගතියක් ලබන තුරු පනවා ඇති මුල්‍ය සම්බාධකද ඉවත් නොකරන බවට එක්සත් රාජධානිය හා යුරෝපා සංවිධානයද සපථ කොට තිබේ.

මුගාබේට මෙබඳු ජාත්‍යන්තර මට්ටමේ නිලයක් ප්‍රධානය කිරිම විශ්වාස කිරීමටත් අසීරු බව ජාත්‍යන්තරයේ ඒකමතික පිළිගැනීම විය. ඉහත පාර්ශ්වවලට අමතරව තවත් ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධාන විසිහතරකින්ද මෙම තීරණය විවේචනයට ලක්කර තිබුණේ මානව අයිතීන් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් මුගාබේගේ දීර්ඝ ඉතිහාසය හුවා දක්වමිනි. ඒ අතර එක්සත් රාජධානී පිළිකා පර්යේෂණායතනය, ලෝක හදවත් ෆෙඩරේෂණය හා හියුමන් රයිට් වොච් ආයතනද විය.

කොටින්ම ජාත්‍යන්තර මාධ්‍ය පවා මෙම ආන්දෝලනාත්මක නිලතල ප්‍රධානය වාර්තාකොට තිබුණේ ‘කිසිදා අසන්නට ලැබේ යැයි නොසිතු ශීර්ෂපාඨයක්‘ ලෙසයි.

රුක්ලන්ති පෙරේරා

===================

Your Comments