වවුනියාව – කොළඹ බස් කොන්දොස්තරවරයෙක්ට පම්බලදී ප්‍රහාරයක්
ජුඩ් සමන්ත - පුත්තලම

62

වව්නියාවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකුට ජීප් රථයකින් පැමිණි පිරිසක් විසින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ  බව හලාවත පොලිසිය පවසනවා.

හලාවත – කොළඹ මාර්ගයේ පම්බල ප්‍රදේශයේදී අද (28) දහවල් මෙම පහර දීම සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.

හලාවත – කොළඹ අතර ධාවනය වන පුද්ගලික බස් රථ රියදුරෙකුට පංචිකාවත්ත ප්‍රදේශයේදී පසුගිය 26 වැනිදා පහර දී තිබෙනවා. අදාළ පහරකෑමට ලක්වූ බව කියන හලාවත – කරවිටාගාරය පදිංචි ඩබ්ලිව්.ඒ. චන්දන සමන් කුමාර නමැත්තා හලාවත මහා රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එම පහරදීමට විරෝධය පල කරමින් හලාවත – කොළඹ අතර ධාවනය වන පුද්ගලික බස් රථ 27 වැනිදා සිට වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා. එම වර්ජනය නොතකමින් හලාවත හරහා ධාවනය වන දුර ගමන් සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වන අතර අද දින සිදු කළ පහරදීම සහ එම වර්ජනය අතර සම්බන්ධයක් ඇති බවට විශ්වාස කරන බවයි පොලිසිය පවසන්නේ.

අද (28) පහරකෑමට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව – ආනවිළුන්දාව පදිංකරුවෙකු වන කේ.ඩී. සාලිය එදිරිසිංහ නම් අයෙකි. පහර දුන් අය තමන් අත තිබූ මගීන්ට ප්‍රවේශ පත්‍ර නිකුත් කරන යන්ත්‍රයද පොලවේ ගසා හානි කර ඇති බව බස් කොන්දොස්තරවරයා පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලේ දැක්වෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

Your Comments