ලෝක ගුවන් විදුලි දිනය අදයි

12

සෑම වසරකම පෙබරවාරි 13 ‘ලෝක ගුවන් විදුලි දිනය’ ලෙස නම් කර තිබෙනවා.

ඒ යුනෙස්කෝ සංවිධානය විසින්.

මෙවර තේමාව වන්නේ “සංවාදය, ඉවසීම හා සාමය“ යි

ගුවන් විදුලි ශිල්පීන් අතර ජාත්‍යන්තර සහයෝගීතාව වර්ධනය කිරීම, තොරතුරු ප්‍රවේශය වර්ධනය කිරීම උදෙසා ප්‍රධාන මාධ්‍ය ජාලයන් හා ප්‍රජා ගුවන්විදුලි සේවාවන් උනන්දු කරවීම, නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හා ගුවන් විදුලි තරංග ඔස්සේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඇතිකිරීම ආදීය මෙහි අරමුණු අතර කැපී පෙනෙයි.

ස්පාඤ්ඤ ගුවන්විදුලි ඇකඩමිය ලෝක ගුවන්විදුලි දිනය පිළිබඳ යෝජනාව යුනෙස්කෝ සංවිධානයට ඉදිරිපත් කළේ 2010 සැප්තැම්බර් මාසයේදී.

ඒ අනුව යුනෙස්කෝ සංවිධානය මගින් ගුවන්විදුලි සංවිධාන, රාජ්‍ය පෞද්ගලික ආයතන, රාජ්‍ය නොවන සංවිධාන මෙන්ම පොදුජන අදහස් විමසුමට ලක්කළා.

මෙම අරමුණ සඳහා 95%ක කැමැත්ත යුනෙස්කෝ සංවිධානයට ලැබි තිබෙනවා.

බී.බී.සී ආයතනය ඇතුළු ප්‍රමුඛ ගුවන්විදුලි සංවිධාන ලෝක ගුවන්විදුලි දිනය පිළිබඳ යෝජනාවට ප්‍රසාදය පළ කළා.

මෙම ආශීර්වාදාත්මක පදනම යටතේ 2011 සැප්තැම්බර් 29 වනදා යුනෙස්කෝ සංවිධානයේ විධායක කමිටුව මගින් පෙබරවාරි 13 ‘ලෝක ගුවන්විදුලි දිනය’ ලෙස ප්‍රකාශයට පත්කළා.

පෙබරවාරි 13 වන දින ලෝක ගුවන්විදුලි දිනය ලෙස නම් කිරීමට හේතු වී ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ගුවන්විදුලි සේවාවක් ආරම්භ කර තිබුණේ 1946 පෙබරවාරි මස 13 වනදා වීමයි.

ඒ අනුව යුනෙස්කෝ සංවිධානය ස්වකීය යෝජනාව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අතර 2011 වර්ෂයේ දී එය පිළිගැනීමට ලක්වුණා.

මේ අනුව 2012 වර්ෂයේ පළමු ලෝක ගුවන්විදුලි දිනය එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් විසින් ස්වකීය රාජ්‍යවල පැවැත්වූවා.

ඒ ගුවන් විදුලි යන්ත්‍රය සොයා ගෙන වසර 118කට පමණ පසුවයි.

මෙරට දී ලෝක ගුවන් විදුලි දිනය ප්‍රථම වතාවට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් 2016 පෙබරවාරි 13 වන දින පස්වරුවේ කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වුණා.

ඉතාලි ජාතික ගුග්ලිඑල්මෝ මාර්කෝනි (Guglielmo Marconi) 1890 දී ගුවන්විදුලි යන්ත්‍රය නිර්මාණය කළා.

රැහැන් රහිත විදුලි සංදේශ ක්‍රමයක් නිර්මාණය කිරීම වෙනුවෙන් 1909 වසරේ භෞතික විද්‍යාවට හිමි නොබෙල් ත්‍යාගය හිමිකරගත්තේ ඔහුයි.

මෙරට ගුවන්විදුලි ඉතිහාසයට මේ වන විට දශක 9ක් පමණ වෙයි.

ලොව පළමු ගුවන් විදුලිය බී.බී.සී. වන අතර දකුණු ආසියාවේ පලමු ගුවන් විදුලිය ලෙස ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි විකාශයක් ආරම්භ කෙරුණා.

පළමුව වැඩි වශයෙන් පටිගත් වැඩසටහන් ප්‍රචාරය වූ එම විකාශයෙහි ක්‍රමයෙන් සජීව වැඩසටහන් විකාශය වූවා.

1920 දශකයේ සිට ගුවන්විදුලිය මෙරට ජන හදවත් වලට සමීප වූයේ රසාස්වාදය මෙන්ම දැනුම ද සපයමින්.

මේ වන විට ශ්‍රි ලංකාවේ රාජ්‍ය සහ පුද්ගලික අංශයේ ගුවන්විදුලි සේවා 50කට අධිකයි.

ලොව ගුවන්විදුලි මධ්‍යස්ථාන 44000කට අධික බව යුනෙස්කෝ ආයතනය පවසනවා.

සංවර්ධනය වෙමින් පවතින රටවල නිවෙස්වල 75%ක් පමණ ගුවන්විදුලි යන්ත්‍ර භාවිත කරනු ලබනවා.

සාක්ෂරතාව පහළ මට්ටමක පවතින අප්‍රිකානු ලතින් අ‍ෙමරිකානු රටවල සංවර්ධන, අධ්‍යාපනික පණිවිඩ ජනගත කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ගුවන්විදුලිය ඔස්සේයි.

Your Comments