ලියාපදිංචියක් නොමැතිව ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි ව්‍යාජ වෛද්‍යවරයෙක් අත්අඩංගුවට

36

හැටන් නගරයේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරයකු හැටන් පොලිසිය විසින් අද(10) අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවී ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් මෙම වෛද්‍යවරයා ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි.

පොලිසිය සිදු කළ මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ආයුර්වේද දෙපාර්තනේතුවේ ලියාපදිංචිය ඇති ආයුර්වේද වෛද්‍යවරයකුගේ ලියාපදිංචි අංකයක් යටතේ සැකකරු කාලයක් තිස්සේ හැටන් බස් නැවතුම් පොළ භූමියේ මෙම ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති බවයි.

අස්ථි බිඳීම් ඇතුළු විවිධ රෝග සඳහා ආයුර්වේද ප්‍රතිකාර සැකකරු විසින් සිදු කර ඇති බවත් එවැනි ප්‍රතිකාර සඳහා උපයෝගී කර ගත් උපකරණ හා ආයුර්වේද ඖෂධ රැසක්ද සැකකරුගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබූ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

එසේම මෙම ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයට හැටන් දික්ඔය නගර සභාවේද කිසිදු අනුමැතියක් ලබාගෙන නොමැති බව අනාවරණ වී තිබෙනවා.

එසේම මෙම ව්‍යාජ වෛද්‍යවරයා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ගෙන් විශාල මුදලක් අය කර ප්‍රතිකාර ලබාදී ඇති බවද අනාවරණ වී තිබෙනවා.

මෙහෙයුමට එක්වූ හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී නොමැතිව මෙවැනි ආයුර්වේද මධ්‍යස්ථානයක් සැකකරු පවත්වාගෙන යාමට නොහැකි බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය පවසනවා.

 

Your Comments