රුපියල ස්ථාවර කිරීමට පියවර රැසක් – අගමැති පාර්ලිමේන්තුවට කියයි

22

රුපියලේ අගය ස්ථාවර කිරීම සඳහා පියවර රැසක් ගෙන තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
හෙතෙම අද (10) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ රුපියලේ අගය ස්ථාවර කිරීම සඳහා රටවල් ගණනාවක් සහය ලබා දීමට එකඟත්වය ප්‍රකාශ කර ඇති බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව අමතා කළ කතාව පහතින් …

දේශපාලන, සමාජයීය හා ආර්ථික අභියෝග රාශියක් අද අප ඉදිරියේ තියෙනවා.
2015 වසරේ අප ආණ්ඩුව බාර ගනිද්දී මුළු රට ම ඉතා අනතුරු දායක ණය උගුලකට සිරවී තිබුණා.
ඒ ණය උගුලෙන් උපායශීලීව ගැලවෙන්නට අප පියවර ගත්තා.
ණය උගුලට හසුවී අපේ වරාය, ගුවන්තොටුපල වැනි ආයතන වෙනත් රටවලට සින්න වීමේ අවදානමෙන් අපේ රට ගලවා ගන්න අපට පුළුවන් වුණා.
අපි දහසක් අසීරුතා මැද රටේ ආර්ථිකය ස්ථාවර තැනකට ඔසවා තැබුවා.
නමුත් මේ වසරේ ආර්ථික ක්ෂේත්‍රයෙන් අපට බරපතල අභියෝගයක් තියෙනවා.
වැඩිම ණය ගෙවීම් ප්‍රමාණයක් අපට කරන්නට තියෙන්නේ මේ අවුරුද්දේ යි.
2019 වර්ෂය තුළ අපි ගෙවියයුතු මුළු විදේශ ණය හා පොලිය ඇමෙරිකානු ඩොලර් මිලියන 5900 ක් පමණ වෙයි කියලා ගණන් බලලා තියෙනවා.
ඒ වගේ ම ශ්‍රී ලංකා ඉතිහාසයේ ගෙවන ලොකුම ණය වාරිකය අපට ගෙවන්න තියෙන්නේ ජනවාරි 14 වෙනිදා.
අමෙරිකානු ඩොලර් මිලියන 2600 ක්.

පසුගිය රජය සමයේ ගත් ණය ආපසු ගෙවීම රටේ සාමාන්‍ය ජනතාවට බරක් නොවන අයුරින් සිදුකිරීමේ සැලැස්මක් අප සකස් කර තිබුණා.
දේශීය ආර්ථිකය නංවාලීම, අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම, විදේශ ආයෝජන ඉහළ නැංවීම ආදී ක්‍රමික සැලසුම් අප දියත් කරමින් සිටියා.

පසුගිය වසරේ ගෝලීය ආර්ථිකයේ ඇතිවූ යම්යම් වෙනස්කම් හා ප්‍රවණතා හේතුවෙන් රුපියලේ අගය දුර්වල වුණා.
අප රුපියල ස්ථාවර කරලීමේ උපායමාර්ග පිළිබඳවත් දැඩි අවධානයක් යොමු කරමින් හිටියා.
නමුත් ඔක්තෝබර 26 වන දා මේ රටේ සිදු වූ දේශපාලන වියවුල හේතුවෙන් ඒ සියළු කටයුතු එක තැන හිරවුණා.
දවස් 51ක් පුරා පැවති දේශපාලන අස්ථාවරත්වය නිසා ස්ථාවර මට්ටමකට එසැවෙමින් තිබූ අපේ ආර්ථිකයට මරු පහරක් වැදුණා.
ආර්ථික වර්ධන වේගය අඩාල වුණා.
රුපියල තව තවත් අස්ථාවර වුණා.
ජාත්‍යන්තර මුල්‍ය ශ්‍රේණිගත කිරීම් වලින් පහලට වැටුණා.
විදේශ සංචිත පහළ වැටුණා.
මේ කාලය තුළ කිසිම රටකින් හෝ කිසිම ජාත්‍යන්තර මුල්‍ය ආයතනයකින් කිසි ම ණයක් හෝ ආධාරයක් ලබා ගන්නට ශ්‍රී ලංකාවට නොහැකි වුණා.

මේ අවිචාරාත්මක කාලපරිච්ඡේදය තුළ තීරණ ගැනීමක් සිදුවුනේ නැති නිසා රජයේ සංවර්ධන වැඩසටහන්, ව්‍යාපෘති නතර වුණා.
ප්‍රාග්ධන අරමුදල් වියදම් කළේ නැහැ.
මේ කාලය තුළ ආර්ථිකයට සිදු වූ සම්පූර්ණ හානිය එක්වර ම පෙනෙන්නේ නෑ.
නමුත් රටේ අනාගත ආර්ථික වර්ධනයට ඉතාමත් නරක විදියට මෙය බලපානවා.

අපිට මේ දින 51 නැතිවුණ ආර්ථික සංවර්ධනය නැවත ගොඩනගා ගන්නට කාලයක් ගතවෙනවා.
ආයෝජකයන්ගේ විශ්වාසය අපට නැතිවුණා.
එම විශ්වාසය යලි ගොඩනගා ගත යුතු වෙනවා.
මේ රටේ දේශපාලන ස්ථාවරත්වයත් තිබෙන බව ලෝකයට පෙන්වීමට අවශ්‍ය වෙනවා. අ
න්තර් ජාතික ප්‍රජාවගේ වගේම ආයෝජකයන්ගේ විශ්වාසය නැවතත් ගොඩනගා ගැනීම අවශ්‍ය වෙනවා.

ලංකාවේ සංචාරක ව්‍යාපාරය ලෝක අවධානයට පාත්‍ර වී, ලෝකයේ හොඳම ගමනාන්තයක් ලෙස නම් කර තිබියදී තමයි, රටේ අස්ථාවරභාවය ඇති වුණේ.
සමහර රටවල් ශ්‍රී ලංකාව සංචාරයට නුසුදුසු රටක් ලෙස නම් කළා.
සංචාරකයන් බොහෝ දෙනෙක් සිය ගමන් වාර අවලංගු කළා.
අපට ලැබෙන්න තිබුණු විශාල විදේශ විනිමය ප්‍රමාණයක් නැතිව ගියා.

මේ දින 51 කාලය තුළ ශ්‍රී ලංකාවේ රුපියලේ අගය සියයට තුනයි දශම අටකින් (3.8%) අවප්‍රමාණය වුණා.
වෙනත් රටවල් වල මුදල් ඒකකයන්වල වටිනාකම වැඩිවෙද්දී ලංකාවේ අඩු වුණා.
මීට පෙරමුදල් වටිනාකම අඩු වූ රටවල මුදලේ වටිනාකම වැඩි වුණා.
2018 ඔක්තෝබර් මස 26 ඉඳලා දෙසැම්බර් මස 16 අතර කාලය තුළ භාන්ඩාගාර සුරැකුම්පත් ඇමරිකානු ඩොලර් මිලියන තුන්සිය දොලහයි දශම නවයකුත් (312.9) භාන්ඩාගාර බිල්පත් ඇමරිකානු ඩොලර් මිලියන විසිනවයයි දශම එකකුත් (29.1) භාන්ඩාගාර බැඳුම්කර ඇමරිකානු ඩොලර් මිලියන විසිනවයයි දශම අටක් (29.8) වශයෙනුත් මුදල් රටෙන් එලියට ගියා.

මේ දවස් 51 කාලය තුළ අපේ විදේශ සංචිත ඇමරිකානු ඩොලර් මිලියන හත්දාස් නවසිය අනූඑකයි දශමපහේ (7991.5) සිට හයදාස් නවසිය අසූපහයි දශමහතර (6985.4) දක්වා පහළ ගියා. ඒ කියන්නේ බිලියනයකින් පහළ වැටුණා.

ගරු නියෝජ්‍ය කතානායකතුමනි,

වැඩිම ණය ගෙවීමට ඇති කාලයේ ජනතාවට බරක් නොවන ලෙස ඒ ගෙවීම් කරන්නට අප සැලසුම් කර තිබුණා.
දින පණස් එකේ වියවුල නොතිබුණා නම් අපේ සංචිත ඩොලර් මිලියන 8000 කට වැඩි වෙනවා.
එයින් ඩොලර් මිලියන 5900ක් කොටස් වාරික ලෙස ගෙවීමටයි අප සැලසුම් කර තිබුණේ.
නමුත් අද සිදුව තිබෙන්නේ කුමක්ද? පළමු වාරිකය ගෙවන කොට අපේ සංචිත ඩොලර් මිලියන 7900 සිට ඩොලර් මිලියන 6900 ට අඩු කරගෙන තිබෙනවා.
මේකයි මේ රටේ ජනතාවට සිදුව තිබෙන්නේ.
අපි බැලූවේ කිසිම ප්‍රශ්නයක් නැතිව මේ ණය ගෙවන්න.
එය කරන්න බැරි වුණා.
කොච්චර කයිවාරු ගැසුවත් අන්තිමට සිදුවුනේ අපේ සංචිතය අඩුවී ගෙවීමට මුදල් මාර්ග නොමැතිවීමයි.

රුපියලේ අගය අඩු වුනු නිසා අපි ශ්‍රී ලංකාවට ගෙන්වන අමු ද්‍රව්‍යවල මිල ඉහල යනවා.
ඒ නිසාම අපේ නිෂ්පාදනවලත් මිල ඉහල යනවා.
මේක සංකීර්ණ ක්‍රියාවලියක්.
ඒක කළමනාකරණය කරගෙන 2018 ඔක්තෝබර් 26 තිබුණ තැනටත් වඩා ඉහළ තැනකට රට ආපහු ගෙන යන එක අපේ වගකීම වෙලා තියෙනවා.

අපේ පළමු සහ වැදගත්ම කටයුත්ත රුපියලේ අගය ස්ථාවර කිරීමයි.
අපි ඒ සඳහා පියවර ගෙන තිබෙනවා.
රුපියලේ අගය ස්ථාවර කිරීම සඳහා සහය ලබාගැනීම පිණිස අපි රටවල් ගණනාවක් සමඟ සාකච්ඡා පැවැත්වුවා.
රටවල් කිහිපයක් අපට උදව්කරන්න කැමැත්ත පල කළා.

ඉන්දීය මහ බැංකුව අමෙරිකානු ඩොලර් මිලියන 400ක මුදලක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලබා දීමට එකඟත්වය පළ කර තියෙනවා.
ඒ සාර්ක් රටවලට සලසන මූල්‍ය හුවමාරු (Currency Swap) පහසුකම යටතේ.
තවත් විශාල මුදලක් අපට ලබා දීම සම්බන්ධව ඉන්දියාව සැලකිල්ල යොමු කර තියෙනවා.

චීනයේ පැන්ඩා බැඳුම්කර හා ජපානයේ සාමුරායි බැඳුම්කර යටතේ ඇමරිකන් ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට අපේක්ෂා කරනවා.
ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය වෙළඳ පොලෙන් ඇමරිකන් ඩොලර් බිලියනයක් ලබාගැනීමට බලාපොරොත්තු වෙනවා.
අපේ මුදල් ඇමතිතුමා ලබන සතියේ වොෂින්ටන් නුවර දී මේ පිළිබඳ සාකච්ඡාවන්ට සහභාගී වෙනවා.

මේ නිසා ඉතා ඉක්මනින් රුපියලේ අගය පහල යාම නතර කර ස්ථාවර මට්ටමක පවත්වා ගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා.
අපට අවශ්‍ය රුපියලේ ස්ථාවරභාවය ඇති කරන්නයි.
නැතිනම් බඩු භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය වල මිල වැඩිවෙනවා.
ඒ වගේම ජීවන වියදම අඩුකරලා ජනතාවට ජීවත්වීමට පුළුවන් විදියේ පරිසරයක් ඇති කරන්නඅපි බලාපොරොත්තු වෙනවා.

සංචාරක ව්‍යාපාරයේ වේගවත් වර්ධනයක් ඇති කෙරෙන සැලසුම් ක්‍රියාත්මක කරන්නටත් අප බලාපොරොත්තු වෙනවා. තාක්‍ෂණ කලාපවල කර්මාන්ත ශාලා පිහිටුවා අපනයන වෙළදාම වර්ධනය කරන්නටත් ක්‍රියා කරනවා.

ගරු නියෝජ්‍ය කතානායකතුමෙනි,

2018 ඔක්තෝබර 27 වෙන දා සිට දින 51 පුරා අපේ ආර්ථිකයේ ඇතිවූ දෙදරීම හා එතැනින් යළි නැගී සිටීමේ අභියෝගයට මුහුණ දීම පිළිබඳව කරුණු කෙටියෙන් ඉදිරිපත් කරන මේ අවස්ථාවේ, 2016 ඔක්තෝබර 27 වන දා මම මේ ගරු සභාව හමුවේ කළ කතාවක දැක්වූ අදහසක් උපුටා දක්වන්නට කැමතියි.

“වත්මන් ගෝලීය ගතිකයන් හා ශ්‍රී ලංකාව සතු ශක්තීන් හා අවස්ථා අප අවබෝධ කර ගත යුතුයි. ඒ සියල්ලෙන් ප්‍රයෝජන ගත යුතුයි.
අප සියළු දෙනාටම විවිධ පුද්ගලික මතවාද තියෙනවා. දේශපාලන අරමුණු තියෙනවා. නමුත් ඒ සියල්ලට ඉහළින්, අපේ රට ගැන සිතන්නය කියා මා ඔබට යෝජනා කරනවා.
අතීතයට චෝදනා කිරීමෙන් පමණක් අනාගතය සරු කර ගන්නට බැහැ.
දුර්වල හා වැරදි සහගත ආර්ථික සැලසුම් ක්‍රියාත්මක කිරීම නිසා අපේ රට මත පැටවී ඇති ණය බර ගැන සුසුම් හෙලූ පමණින් අනාගතය ගොඩ නැංවෙන්නේ නෑ. ඒ සඳහා නිවැරදි සැලසුම් සකස් කර ගත යුතුයි. උපාය මාර්ග නිර්මාණයකර ගත යුතුයි. වෙහෙසිය යුතුයි. කැපවිය යුතුයි.”

උපුටා ගැනීම අවසන්.

මෙය තමා අප සිදු කළේ.
මෙයට අපට බැනුම් අහන්න සිදු වුණා.
සමහරවිට ජනතාවට ජීවන බර වැඩි වුණා.
ඒත් අපට පුළුවන් වුණා මේ කාලය වන විට ඇත්ත වශයෙන්ම අර්බූදය නැති වුණා නම් ණය බර ප්‍රශ්නය අවසන් කරන්න.
දින 51 තුල ඊට විශාල පහරක් වැදුනා.
නිසි ආර්ථික කළමණාකරණයක් තිබුණා නම් එය ප්‍රශ්නයක් වන්නේ නැහැ. නමුත් එවන්නැක් තිබුණේ නැහැ.

දින පනස් එකේ අස්ථාවරත්වය නිසා අපට වැඩි වැඩියෙන් වෙහෙසෙන්නට සිදු වෙනවා.
වැඩි වැඩියෙන් කැප වන්නට සිදු වෙනවා.
වැඩි වැඩියෙන් අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවෙනවා.

නමුත්, මේ සියළු අභියෝග ජයගන්නට අප සූදානම්.
මේ සියලූ අභියෝගයන්ට ශක්තිමත්ව මුහුණ දෙන්නට අප සූදානම්.
දින 51 පුරා දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවා තබන්නට අප සූදානම්.
එය ලේසි පාසු කාර්යයක් නෙවෙයි.
නමුත් ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට හා ජනතා පරමාධිපත්‍යයට එල්ල වූ අභියෝගයන්ට මුහුණ දී, යළිත් ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතා පරමාධිපත්‍යය යළිත් ඉහළට ඔසවා තැබූ සේම අපි ආර්ථිකයත් ඉහළට ඔසවනවා.
එහිදී අපට අසීරුතා ඇති වේවි.
දුෂ්කරතා මතුවේවි.
නමුත් අපි ඒ සියල්ල මධ්‍යයේ ජනතා හිතවාදී අයවැයක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් මෙහිදී විශේෂයෙන් සඳහන් කරන්නට කැමතියි.

Your Comments