රන්දෝලි මහ පෙරහර අද

12

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහර අද වීථී සංචාරය කෙරෙනවා.

අද රාත්‍රී 08.05 ට යෙදෙන සුබ මොහොතින් ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩින් පෙරහර ගමන් ආරම්භ කිරීමට නියමිතයි.

පසුගිය වසර කිහිපයේ ශ්‍රී දළඳා කරඬුව වැඩම කරවූ නැදුන්ගමුවේ රාජා හස්තියා අසනීප තත්වයක් හේතුවෙන් මෙවර පෙරහරට එක්වන්නේ නැහැ.

දළඳා මාළිගාවේ ඉන්දිරාජා හස්තියාද මේ වන විට රෝගී තත්වයක පසුවීම හේතුවෙන් අද දිනයේදී කරඬුව වැඩමවන හස්තියා පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි වාර්තා වන්නේ.

මහනුවර ඇසල මහා පෙරහර මංගල්‍යයේ අවසන් මහා රන්දෝලි පෙරහැර පිළිබද කරුණු පැහැදිළි කරන ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා.

 

හෙට අලු‍යම ගැටඹේ තොටේදී දියකැපීමේ මංගල්‍යය පැවැත්වීමෙන් පසු ශ්‍රී දළදා මාළිගාවේ සහ සතර මහා දේවාල පෙරහර හෙට දහවල් පැවැත්වෙනු ඇති.

අනතුරුව පෙරහර මංගල්ලය නිසි පරිදි අවසන් කළ බවට දියවඩන නිළමේ සහ බස්නායක නිළමේවරුන් විසින් ජනාධිපතිවරයාට සන්දේශය භාරදීමෙන් පසු මෙවර ඇසළ පෙරහර මංගල්ලය නිල වශයෙන් නිමාවට පත්වීමට නියමිතයි.

මේ අතර නිකිණි පුන් පොහෝ දිනයට අදට යෙදී තිබෙනවා.

මහ කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලීකත්වයෙන් ප්‍රථම ධර්ම සංඝායනාව අද වැනි දිනෙක පැවැත් වූ බවටයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

භික්‍ෂූණ් වහන්සේලා නිකිණි පුර පසළොස්වක පොහෝ දිනයේ පසු වස් එළඹීම සිදු කෙරෙනවා.

භාග්‍යවතුන් වහන්සේගේ ගිහි කල පුත්‍ර රත්නය වු රාහුල ස්වාමීන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කර අරහත් බවට පත්වුයේ ද අද වැනි පුන් පොහොය දිනකයි.

නිකිණි පුර පසළොස්වක පොහෝදිනයට සමගාමීව දිවයිනේ සියලු වෙහෙර විහාරස්ථාන බැතිම තුන්ගෙන් පිරී පවතින බව NEWS24 වාර්තාකරුවන් සඳහන් කළා.

බැතිමතුන් ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් වතාවත් වල නිරත වන බවයි ඔවුන් සඳහන් කළේ.

අනුරාධපුර අටමස්ථානය, කතරගම කිරිවෙහෙර මහනුවර ශ්‍රී දළදා මාලිගාව යන ප්‍රධාන ආගමික ස්ථානවල ද විශේෂ ආගමික වැඩසටහන් පැවැත්වෙන බව ද සඳහන්.

Your Comments