රතන හිමියන්ට සහය පළ කරමින් විරෝධතා [Photos]
ප්‍රදේශ රැසක කඩසාප්පු වසා දමයි - බස් ගමනාගමනයත් නවතියි

47

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසය සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවල සහය පළ කරමින් විවිධ වැඩසටහන් පැවැත්වෙන බව වාර්තා වනවා. ඇතැම් නගරයන්හි කළු කොඩි ඔසවා සහය පළ කර ඇති අතර ඇතැම් නගරයන්හි සියලුම කඩ සාප්පු වසා දමමින් බස් ධාවනය නොකරමින් සහය පළකරමින් සිටින බවයි නිව්ස්24 වාර්තාකරුවන් පවසන්නේ.
මේ අතර රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා සහ ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා යන මහත්වරුන්ට ඉල්ලා අස්වන ලෙසට බල කරමින් වරකාපොළ නගරයේ සිංහල සහ මුස්ලිම් වෙළෙඳ සැල් ඇතුළුව කඩ සාප්පු වසා දමමින් විරෝධතා ව්‍යාපාරයක්ද පවත්වා තිබෙනවා.
ගම්පොළ නගරයේ සියලුම වෙළෙඳ සැල්ද මේ වන විට වසා දමා ඇති බවයි නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ. එසේම ගම්පොළ නගරයේ සිට ගමන් ආරම්භ කරනු ලබන සියලුම බස් රථයද ධාවනයෙන් ඉවත් වෙමින් අතුරලියේ රතන හිමියන් විසින් ආරම්භ කර ඇති උපවාසයට සහය පළ කර තිබෙනවා. බස් ගමනාගමනය මධ්‍යහ්න 12 සිට නතර කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර කළුතරින් සහ අලුත්ගමින් ගමන් ආරම්භ කරන මගී බස් රථද ධාවනය නොකිරීමට පියවර ගෙන ඇති බවයි නිව්ස්24 වාර්තාකරුවන් කියා සිටියේ. එහිදී දුරගමන් සේවා බස් රථ හැර අනෙකුත් සියලුම බස් රථ මෙලෙස ධාවනයෙන් ඉවත්වීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එසේම මාතලේ නගරයේද සියලුම වෙළෙඳ සැල් වසා දමමින් රතන හිමියන් ගෙන යන උපවාස ක්‍රියාවට සහය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.


මේ අතර හලාවත නගරයේදීද රතන හිමියන්ගේ උපවාසයට සහය පළ කරමින් නිහඬ උද්ඝෝෂණයක් අද(03) පෙරවරුවේ පැවැත්වුණා. එම උපවාසය හලාවත නගරවාසීන් විසින් සංවිධානය කර තිබූ බවයි හලාවත නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ.

මේ අතර නාඋල නගරයේ සියලුම කඩ සාප්පුවල කළු කොඩි ඔසවමින් සහය පළ කිරීමට නාඋල වෙළෙඳ ප්‍රජාව පියවර ගෙන තිබෙනවා. වෙළෙඳ සංගමයට සහය පළ කරමින් නාඋල ත්‍රිරෝද රථ රියදුරන්ද රාජ්‍ය ආයතන රැසකද කළු කොඩි ඔසවා ඇති බවයි නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ.
මෙම සහය පළ කිරීම සඳහා ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාවද එක්ව සිටි බවයි වාර්තා වන්නේ. නාඋල එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති හසිත විජේතිලක මහතා කියා සිටියේ පස්වරු 1 සිට නගරයේ සියලුම කඩ සාප්පු වසා දමා උපවාසයේ නිරතව සිටින රතන ස්වාමීන් වහන්සේට සහය පළ කරන බවයි.

මේ අතර ඇඹිලිපිටිය නගරයේද සියලුම කඩසාප්පුවල කළු කොඩි ඔසවමින් විරෝධතාවයක් පවත්වා රතන හිමියන්ට සහය පළ කර තිබෙනවා. එසේම සියලුම කඩ සාප්පු වසා දමමින් විශාල පිරිසක් ඇඹිලිපිටිය නගර මධ්‍යයේ විරෝධතාවයකද නියැලුණු බවයි නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ.

ඉන්දික අරුණ කුමාර – නාඋල
රවීන්ද්‍ර විරාජ් අබයසිරි – මාතලේ
සුනිල් හරිස්චන්ද්‍ර – ඇඹිලිපිටිය

Your Comments