UPDATE : මෙරට ඉතිහාසයේ විශාලතම හෙරොයින් තොගය කොල්ලුපිටියෙන් අල්ලයි

193

කොල්ලු‍පිටිය, සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලකින් රුපියල් මිලියන 2,945 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සොයාගෙන තිබෙනවා.

හෙරොයින් තොගයේ බර කිලෝග්‍රෑම් 294යි ග්‍රෑම් 490ක්.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය කොල්ලුපිටියේ ක්‍රියාත්මක කළ ඒකාබද්ධ මෙහෙයුමක දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනුණ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

ඊයේ (23) පස්වරුවේ කොල්ලුපිටිය ‍සුපිරි වෙළඳ සංකීර්ණයක රථ ගාලක දී වැටලීම සිදු කර තිබෙනවා.

සැකකරුවන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඔවුන් පැමිණ සිටි වෑන් රථ දෙකක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 32 හා 43 වයස්වල පසුවන පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක්.

හෙරොයින් තොගය පාර්සල් 272ක අසුරා විශාල ගමන් බෑග් 10ක ගෙනවිත් තිබුණා.
ඉන් එක් වෑන් රථයකින් හමු වූ ප්‍රමාණය කිලෝ 163යි ග්රෑම් 356ක්.
අනෙක් වෑන් රථයෙන් හෙරොයින් කිලෝ 131යි ග්රෑම් 134ක් හමුවුණා.

සැකකරුවන් දෙදෙනා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවා තබා ගනිමින් වැඩි දුර විමර්ශන සිදු කෙරෙන අතර, ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට අපේක්ෂා කරන බවද පොලිසිය සඳහන් කළා.

2018 වසරේදී හෙරොයින් කිලෝ 732යි ග්රෑම් 129ක් සොයාගෙන තිබුණා.
එම වසරේදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් ගණන 40998ක්.

මෙම වසරේ ගත වූ දින කිහිපයේදී පමණක් හෙරොයින් කිලෝ 520ක් සොයාගෙන තිබෙනවා.

මෙතෙක් ශ‍්‍රි ලංකාවෙන් සොයා ගත් විශාලතම හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය බවට වාර්තා වූයේ දෙහිවල කවුඩාන ප‍්‍රදේශයේ නිවසකින් පසුගිය දෙසැම්බර් 31 වැනිදා සොයාගත් හෙරොයින් තොගයයි.

එම හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 278ක්. කොකේන් කිලෝග‍්‍රෑම් 05 ක් ද මෙහි දී සොයා ගැණුනා.

සබැඳි පුවත්

මෙරට විශාලම මත් ද්‍රව්‍ය තොගය ජනපතිගේ නිරීක්ෂණයට

Your Comments