මෙරට කොරෝනා වෛරස ආසාදිතයින්ගෙන් 836 දෙනෙක්ට සුවයි
අනුර ප්‍රේමකුමාර

9

මෙරට කොරෝනා ආසාදිතව රෝහල්ගතව සිටින රෝගීන්ගෙන් තවත් 13 දෙනෙකු ගෙවී ගිය පැය 24ක කාලයේදී සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව කොරෝනා වෛරසය ආසාදිතව මෙරට සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 836ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද(03) උදෑසන 10න් අවසන් වූ පැය 24ක කාලයේදී රෝහල් තුනකින් මොවුන් 13 දෙනා සුවය ලබා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ ජාතික බෝවන රෝග විද්‍යාතනයෙන් රෝගීන් 7 දෙනෙක්ද මිනුවන්ගොඩ මූලික රෝහලෙන් රෝගීන් පස් දෙනෙක්ද සහ මුල්ලේරියාව මූලික රෝහලෙන් රෝගියෙක්ද ලෙසිනි.
ඒ අනුව මේවන විට කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 836 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොරෝනා වෛරස ආසාදිත රෝගීන්ගේ සංඛ්‍යාව 1683ක්. ඉන් 11 දෙනෙක් මරණයට පත්ව තිබෙනවා.
කෙසේ වෙතත් තවත් පුද්ගලයන් 66 දෙනෙක් කොරෝනා වෛරස රෝග ලක්ෂණ සහිත බවට සැකය මත වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බවද වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
පසුගිය අප්‍රේල් මස 22 වනදා සිට අද(03) පෙරවරු 10 දක්වා කාලයේදී කොරෝනා වෛරස ආසාදිතයින් 1375 දෙනෙක් වාර්තා වී ඇති බවද එම ඒකකය අද නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.
ඊට අනුව ඉන් 808 දෙනෙක් නාවික හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් වනවා.
කෙසේ වෙතත් නාවික හමුදා සාමාජිකයන් 771 දෙනෙකු කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
එසේම 476 දෙනෙක් වෙනත් රටවලින් පැමිණි මෙරටදී නිරෝධායනයට ලක්වූවන් වනවා.

Your Comments