මුලතිව් ගුරුකන්ද පුරාණ විහාර නාම පුවරු දෙකම ගලවයි – කෝවිලේ පුවරුව ඉතිරි කරයි (PHOTOs)

305

මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයේ ප්‍රධාන නාම පුවරු දෙකම අද (14) දහවල් ගලවා ඉවත් කර තිබෙනවා.

විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් පවසන්නේ මුලතිව් මාර්ග සංවර්ධන අධිකාරියේ යැයි කියාගත් පිරිසක් විසින් පුවරු ගලවා දැමූ බවයි.

මුලතිව් නයාරු ප්‍රධාන මාර්ගය අසල පිහිටි ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ නාම පුවරු ගලවන අවස්ථාවේදී මුලතිව් පොලිස් නිලධාරීන්ද එම ස්ථානයේ සිටි බවයි විහාරාධිපති හිමියන් පැවසුවේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පවසා ඇත්තේ නාම පුවරු ඉදිකොට ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියට අයත් භූමියේ බවයි.

නාමපුවරු ඉදිකළ යුතුවන්නේ ප්‍රධාන මාර්ගයේ සිට අඩි 15කට එපිටින් බවත් ඔවුන් පෙන්වා දෙනවා.

විහාරයට දැන් නාම පුවරුවක් නොමැති බවටත් ඉතිරිව ඇත්තේ පසුගියදා අධිකරණ නියෝගයකට අනුව දේවාලයේ නම් කරන ලද නීරාවියඩි පිල්ලයාර් කෝවිලේ නම පමණක් බවද විහාරාධිපති හිමියන් සඳහන් කළා.

ප්‍රදේශවාසීන් පැවසූවේ දෙමළ දේශපාලඥයින්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් මුලතිව් මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් විහාරස්ථානයේ නාමපුවරු ගලවා ඇති බවයි.

විහාරස්ථානයේ නාමපුවරුවක් වසර ගණනාවක් විහාරස්ථානය ඉදිරිපස පැවති බවත්, විහාර භූමියේ කෝවිල ඉදිකිරීමේ ගැටළුව මත හටගත් අර්බුදය හේතුවෙන් මේ වන විට විහාරස්ථානයේ නාමපුවරු ගලවා ඇති බවත් ප්‍රදේශවාසීන් සඳහන් කළා.

ප්‍රදේශවාසීන් චෝදනා කළේ දෙමළ ජාතික සන්ධාන දේශපාලන නියෝජිත පිරිසක් නයාරු විහාරස්ථානය ඉවත් කිරීමේ උත්සහයක නිරතව සිටින බවයි.

(වන්නි රොමේෂ් මධුෂංඛ / වවුනියාව – මාධව කුලසූරිය)

     

Your Comments