මැතිවරණ නීතියට පටහැනි ප්‍රචාරණ පුවරු 8 වනදා සිට ඉවතට

14

මැතිවරණ නීතියට පටහැණිව ඉදිකර ඇති සියලුම ප්‍රචාරක පුවරු ලබන 8 වනදා සිට ඉවත් කිරීමට පියවර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මහජනතාවට පීඩාවන ලෙස ඉදිකර ඇති කටවුට් සහ පෝස්ටර් ඒ යටතේ ඉවත් කෙරෙන බවයි කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියාසිටියේ.

නීතිවිරෝධී ප්‍රචාරක පුවරු සම්බන්ධයෙන් පැමිණිලි විමර්ශනයට දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ඒකක පිහිටුවීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කලා.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට සහ අනවසර ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට පොලිසියේ සහය ලබාගන්නා බවයි මැතිවරණ කොමිසම සඳහන් කලේ.

එමෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකයන් ඉලක්ක කර සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකෙරන වෛරී සහගත ප්‍රකාශ සම්බන්ධයෙන්ද පුලුල් නිරීක්ෂණ වැඩපිළිවෙලක් මෙවර ක්‍රියාවට නංවා තිබෙනවා.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ සමාජ මාධ්‍ය ජාලා ප්‍රධානීන්ගේ සහය ඊට යොදාගැනෙනු ඇති.

ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා මෙවරත් යුරෝපා සගමයේ සහ පොදු රාජ්‍ය මණ්ඩලයේ නිරීක්ෂකයන්ට ආරාධනා කිරීමට බලාපොරොත්තු වන බවයි මැතිවරණ කොමිෂන් සභාව කියාසිටියේ.

Your Comments