මැතිවරණ කොමිෂන් සභාවෙන් අගමැතිට ලිපියක්

46

පළාත් සභා මැතිවරණ සීමානිර්ණ සමාලෝචන වාර්තාව ජනාධිපතිවරයාට භාරදෙන ලෙස ඉල්ලමින් මැතිවරණ කොමිෂන් සභාව අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමුකර තිබෙනවා.

මැතිවරණ කොමිසම ලිපියෙන් පෙන්වා දී ඇත්තේ එම වාර්තාව ජනාධිපතිවරයා ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති බාධා ඉවත්ව යන බවයි.

නව මැතිවරණ ක්‍රමයක් යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව සීමානිර්ණ වාර්තා සකස් කිරීම සඳහා අචාර්ය කේ.තවලිංගම් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත් කෙරුණා.

එම කමිටුව සකස් කරන ලද සීමානිර්ණ වාර්තාව 2018 වසරේ මාර්තු 08 වැනිදා පාර්ලිමේන්තුවේ සභාගත කෙරුණු නමුත්, එය විවාදයට ගැනුණේ එම වසරේ අගෝස්තු මස 24 වැනිදායි.

කෙසේ වෙතත්, මෙම පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එවකට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ධූරය දැරූ ෆයිසර් මුස්තාෆා මහතා ද ඇතුළුව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් 139 දෙනෙකු එයට විරුද්ධව ඡන්දය ලබාදී පනත පරාජයට පත්කරනු ලැබුවා.

පසුව කතානායක කරූ ජයසූරිය මහතා මෙම සීමානිර්ණ වාර්තාවේ දෝෂ නිවැරදි කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් පංච පුද්ගල කමිටුවක් පත්කරනු ලැබූ අතර, මාස දෙකක් තුළ අදාළ වාර්තාව ජනාධිපතිවරයාට භාරදිය යුතුව තිබුණා.

එහෙත් මේ වනතෙක් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත යොමුකර නැහැ.

මැතිවරණ කොමිසම පළාත් සභා සීමානිර්ණ සමාලෝචන වාර්තාව පිළිබඳ අග්‍රාමාත්‍යවරයාට ලිපියක් යොමුකර තිබුණේ මෙවන් පසුබිමක් තුළයි.

මේ අතර, මැතිවරණ කොමිසම පසුගියදා ලිපියක් යොමුකරමින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළ නීතිමය පදනම කුමක්දැයි ශේෂ්ඨාධිකරණයේ මතය විමසා බලන ලෙසයි.

මේ වනවිට පළාත් සභා 07ක කාලය අවසන්ව ඇති අතර, ඒවා ආණ්ඩුකාරවරුන්ගේ පාලනය යටතේ පවතිනවා.

පළාත් සභා නිල කාලය අවසන් වීම


පළාත් සභාව
නිලකාලය
අවසන් දිනය
ගතව ඇති කාලය
සබරගමුව 2018.09.26 මාස 06
නැගෙනහිර 2018.09.30 මාස 06
උතුරු මැද 2018.10.01 මාස 06
මධ්‍යම 2018.10.08 මාස 06
වයඹ 2018.10.10 මාස 06
උතුර 2018.10.25 මාස 06
දකුණ 2019.04.10 දින ගණනක්
බස්නාහිර 2019.04.21
ඌව 2019.09.08 මාස 05කට පසු

Your Comments