මාලිංග වාර්තාවක් සමගින් එක් දින ලෝක කුසලාන පිටියට සමු දෙයි

231

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 44 වන තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු‍ 7ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.

ලීඩ්ස් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ‍‍්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව ශ‍්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලූ 7ක් දැවී ලකුණු 264ක් ලබා ගත්තා.

සිය තෙවන ශතකය වාර්තා කළ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 113ක් රැස් කළා.

ළහිරු තිරිමාන්න ලකුණු 53යි.

පන්දු යැවීමේ දී ජෙස්ප‍්‍රිට් බුම්රා කඩුලු‍ 3ක් බිඳ දැම්මා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව පන්දුවාර 43යි පන්දු 3ක් අවසානයේ කඩුලු‍ 3ක් දැවී ජයග‍්‍රාහී ඉලක්කය පසු කළා.

රෝහිට් ෂර්මා සහ කේ.එල් රාහුල් පළමු කඩුල්ලට ලකුණු 189ක සබඳතාවයක් ගොඩ නැගුවා.

ෂර්මා ලකුණු 103කට දැවී ගිය අතර, රාහුල් ලකුණු 111ක් ලබා ගත්තා.

මේ අතර, ශ‍්‍රී ලංකා සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඊයේ (06) තවත් වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.

ඒ, ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ තෙවැනි වැඩිම කඩුලු‍ ලාභියා බවට පත් වෙමින්.

මෙවර ලෝක කුසලාන තරගාවලිය යටතේ ඉන්දියාව සමග පැවැති තරගයේ දවා ගත් කඩුල්ලත් සමගයි මාලිංග එම වාර්තාව තමන් සතු කර ගත්තේ.

ඒ, පාකිස්තානයේ වසීම් අක්‍රම් කඩුලු‍ 55ක් දවා ගනිමින් තබා තිබූ වාර්තාව අභිබවා යමින්.

ලසිත් මාලිංග මේ වන විට ලෝක කුසලාන තරගාවලියන්හීදී කඩුලු‍ 56ක් බිඳ දමා තිබෙනවා.

ඉන්දියාට එරෙහිව ලසිත් මාලිංග ඊයේ ක්‍රීඩා කළ තරගය ඔහුගේ අවසන් ලෝක කුසලාන තරගයයි.

Your Comments