“මාලිංග … මාලිංග …මුම්බායි ඉන්දියන්ස් මාලිංග ….” ඉන්දියානුවන් මාලිංග ට යන්නට නොදෙයි (VIDEO)

168

මාලිංග, එක් දින ලෝක කුසලාන පිටියට ඊයේ (06) සමු දුන්නේ වාර්තාවක් ද පිහිටුවමින්.

ඒ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 44 වන තරගයෙන්, එනම් ඉන්දියාවට එරෙහි තරගයෙන් සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ තෙවැනි වැඩිම කඩුලු‍ ලාභියා බවට පත් වෙමින්.

තරගයේ දවා ගත් කඩුල්ලත් සමගයි මාලිංග එම වාර්තාව තමන් සතු කර ගත්තේ.

ඒ, පාකිස්තානයේ වසීම් අක්‍රම් කඩුලු‍ 55ක් දවා ගනිමින් තබා තිබූ වාර්තාව අභිබවා යමින්.

ලසිත් මාලිංග මේ වන විට ලෝක කුසලාන තරගාවලියන්හීදී කඩුලු‍ 56ක් බිඳ දමා තිබෙනවා.

ඉන්දියාට එරෙහිව ලසිත් මාලිංග ඊයේ ක්‍රීඩා කළ තරගය ඔහුගේ අවසන් ලෝක කුසලාන තරගයයි.

ඊයේ තරගයෙන් ශ්‍රී ලංකාව පරදා කඩුලු‍ 7ක ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.

ලීඩ්ස් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ‍‍්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

ඒ අනුව ශ‍්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලූ 7ක් දැවී ලකුණු 264ක් ලබා ගත්තා.

සිය තෙවන ශතකය වාර්තා කළ ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 113ක් රැස් කළා.

ළහිරු තිරිමාන්න ලකුණු 53යි.

පන්දු යැවීමේ දී ජෙස්ප‍්‍රිට් බුම්රා කඩුලු‍ 3ක් බිඳ දැම්මා.

තරගය අවසන්ව ශ්‍රී ලංකා කණ්ඩායම පිටව යාමට බස් රථය බලා පැමිණියා.

ඒ වනවිටත් ඉන්දීය ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් බස් රථය අසළට රැස්ව සිටියා.

බොහෝ පිරිසක් ලසිත් මාලිංග බලාපොරොත්තුවෙන්…..

ඉන්දීය ක්‍රීඩා ලෝලීන් පිරිස මාලිංගට බස් රථයට යාමට දුන්නේ නම් නැහැ.

මාලිංග එම පිරිසේ අපේක්ෂාව හඳුනා ගෙන සමරු සටහන් තැබුවේ උණුසුම් ප්‍රතිචාර මධ්‍යයේ.

ඉන්දීය ක්‍රීඩා ලෝලීන් මාලිංගට ඔල්වරසන් දුන්නේ,

“….මාලිංග … .මාලිංග … මුම්බායි ඉන්දියන්ස් මාලිංග ….” යනුවෙන්.

මෙවර IPL කුසලානය දිනාගත්තේ, මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ධුරය දැරූ සහ ලසිත් මාලිංග ක්‍රීඩා කළ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

එහිදී ලසිත් මාලිංග යැවූ අවසන් පන්දු ඕවරයෙන් කඩුල්ලක් ලබා ගනිමින් මුම්බායි ඉන්දියන්ස් ජයග්‍රහණය තහවුරු කළා.

එය සිහි ගන්වමින් ඊයේ මාලිංගට, ඉන්දියානු ක්‍රීඩා ලෝලීන් උණුසුම් ප්‍රතිචාර පිරි නැමුවා.

"මාලිංග … මාලිංග …මුම්බායි ඉන්දියන්ස් මාලිංග …." ඉන්දියානුවන් මාලිංග ට යන්නට නොදෙයි

"මාලිංග … මාලිංග …මුම්බායි ඉන්දියන්ස් මාලිංග …."ඉන්දියානුවන් මාලිංග ට යන්නට නොදෙයි

Posted by News24 on Saturday, July 6, 2019

Your Comments