මහ මැතිවරණය ජුනි 20 පැවැත්විය නොහැකියි – කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

82

ජුනි මස 20 දා මහ මැතිවරණයක් පැවැත්වීමට ප්‍රායෝගිකව හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඒ වර්තමානයේ උදාවී ඇති තත්ත්වය මත බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ එහි සාමාජික නලින් අබේසේකර යන මහත්වරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා මෙම දැනුම්දීම කර තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමේ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබෙන පෙත්සම් අද (20) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබූවේ තුන්වන දිනයටයි.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත්වෙනවා.

මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අංශවලින් ප්‍රකාශයක් කෙරෙනතුරු මැතිවරණයක් පැවැත්විය නොහැකි බව පෙන්වාදෙන මැතිවරණ කොමිසම, මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අවශ්‍යවලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද අධිකරණයට දන්වා තිබෙනවා.

මෙම දැනුම් දීමෙන් අනතුරුව පෙත්සමක් ඉදිරිපත් කර තිබූ නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්දිරන් මහතා දන්වා ඇත්තේ තම සේවාදායකයා ඉල්ලා සිටින සහනය මේ වන විටත් හිමි වී ඇති බැවින් එම පෙත්සම ඉදිරියට පවත්වාගෙන නොයන බවයි.

Your Comments