“මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ චූදිත ලැයිස්තුවේ පළමුවැන්නා විය යුත්තේ රනිල්”

41

මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ චූදිත ලැයිස්තුවේ පළමුවැන්නා විය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා බව ජනතා විමුක්ති පෙරමුණු දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ඒ අද පැවති මාධ්‍ය හමුවේදී.

ජනතා විමුක්ති පෙරමුණ එම මාධ්‍ය හමුවේ කැරුණු දක්වා සිටියේ මෙලෙසින්….

බැඳුම්කර ගනුදෙනුව සිදුවූ පසුව ඒ සම්බන්ධයෙන් විවිධ අවස්ථාවල ජනතා විමුක්ති පෙරමුණ ලෙස අපි පැහැදිලිව කියා තිබෙනවා එයට සම්බන්ධ චූදිතයින් පිළිබඳව කඩිනමින් පරීක්‍ෂණ පවත්වා දඬුවම් කළ යුතුයි කියලා. මේ වනවිට චූදිතයින් දහ දෙනෙක් නම් කරලා අධිකරණ ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර තිබෙනවා. නමුත් මහබැංකු බැඳුම්කර ගනුදෙනුවට තිබෙන දේශපාලන ගනුදෙනු සලකා බලන විට එහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සෑහීමකට පත්වෙන්න බැහැ. 2015 පෙබරවාරි 27වැනිදා මෙම මහ බැංකු ගනුදෙනුව සිදුවූවාට පසුව එම වර්ෂයේම මාර්තු 10වැනිදා අපි මාධ්‍ය හමුවක් පවත්වලා මේ බව රටට හෙළිදරව් කළා. එහිදී අපි අවධාරණය කළා, මහ බැංකු අධිපතිවරයා සහ එම ගනුදෙනුවට සම්බන්ධ ඔහුගේ බෑනා අතර ඥාතීත්වය ස්වභාවික වුවත් මෙම ගනුදෙනුව අස්වාභාවික ගනුදෙනුවක් කියලා. ඒ වගේම අපි අවධාරණය කළා අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපති තනතුරින් ඉල්ලා අස්වෙලා ඒ සම්බන්ධ පරීක්‍ෂණයට ඉඩ දෙන්න කියලා.
මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් ඉන් පසුව පිටිපන කමිටුව පත්කළා. නමුත් පිටිපන කමිටුවෙන් මහ බැංකු අධිපතිවරයා නිවැරදි කළා. අධිපතිවරයා නැවත මහ බැංකුවේ කටයුතු ආරම්භ කළා. ඉන් පසුව මාර්තු 29වැනිදා නැවතත් මිලියන 40ක මහ බැංකු ගනුදෙනුවක් සිදුවුණා. මෙම ගනුදෙනු සම්බන්ධයෙන් මාගේ සභාපතිත්වයෙන් යුතු කෝප් කමිටුව මගින් පරීක්‍ෂණයක් සිදුකළා. එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. ඒ වගේම ජනාධිපතිවරයා විසින් පත්කළ කොමිසම මගින් නිර්දේශ ඉදිරිපත් කළා. එම වාර්තා දෙක මගින්ම අධිකරණමය නීති කටයුතු ආරම්භ කරන්න කියලා නිර්දේශ ලබාදුන්නා. නමුත් මේ වනවිටත් අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කොට තිබෙන්නේ පෙබ. 27වැනිදා සිදුවුණු මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් පමණයි. නමුත් මාර්තු 29වැනිදා සිදුවුණ ගනුදෙනුවෙන් 60%ක ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ අර්ජුන් මහේන්ද්‍රන්ගේ බෑනාට සම්බන්ධ පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම විසිනුයි. එම සමාගම බැඳුම්කර මිලදීගෙන තිබෙන්නේ මහ බැංකුවෙන්ම ලබාගත් ණය මුදලක්ම යොදාගෙනයි. එම නිසා මෙය ඉතාම කුප්‍රකට ගනුදෙනුවක්. අර්ජුන මහේන්ද්‍රන්, ඔහුගේ බෑනා, මහ බැංකු නිලධාරීන් ඇතුළු සියලු දෙනා අධිකරණය හමුවට ගෙන්වන්න ඕනෑ. නමුත් මෙහි ප්‍රධාන චූදිතයා වෙලා ඉන්න අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට ගෙන්වීමට නොහැකි වෙලා තිබෙන්නේ දේශපාලන සම්බන්ධතා නිසයි. මෙම ගනුදෙනුවට සම්බන්ධ ලියකියවිලි, තොරතුරු පමණක් විමර්ශනය කිරීම ප්‍රමාණවත් නැහැ. මෙම ගනුදෙනුවට තිබෙන දේශපාලන සම්බන්ධතාවය සැලකිල්ලට ලක්කරමින් නීතිය ක්‍රියාත්මක කළ යුතුව තිබෙනවා.
මෙම ගනුදෙනුවට සම්පන්ධ පර්පචුවල් ටේ‍රෂරීස් සමාගම වෙතින් මුදල් ලබාගත් දේශපාලනඥයින් ඉන්නවා. ඇතැම් දේශපාලනඥයින් මුදල් ලබාගත් බවට ප්‍රසිද්ධියේ පිළි අරගෙන තෙිබෙනවා. මේ සියලු දෙනා නීතිය හමුවට ගෙන ආ යුතුයි. රනිල් වික්‍රමසිංහ මෙම ගනුදෙනුවේ සැලකිය යුතු සම්බන්ධතාවයක් තිබෙන පුද්ගලයායි. ජනාධිපති කොමිසම් වාර්තාවේ 26වැනි පරිච්ඡේදයේ අගමැතිවරයාගේ සම්බන්ධය පිළිබඳව පැහැදිලිව සඳහන් කොට තිබෙනවා. එවකට සිංගප්පූරුවේ සිටි අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවේ මහ බැංකු අධිපති තනතුරට ආරාධනා කිරීම සිදුකළේ රනිල් වික්‍රමසිංහයි. රනිල් වික්‍රමසිංහ කියා තිබෙනවා, මුදල් ඇමතිවරයාට නිර්දේශය ලබා දුන්නේ ඔහු බව. ඒ වගේම එවකට මුදල් අමාත්‍යාංශය යටතේ තිබුණු මහ බැංකුව අග්‍රාමාත්‍යවරයා යටතට පත් කර ගැනීම මෙම ගනුදෙනුවට සෘජු සම්බන්ධතාවයක් තිබෙනවා. විදේශ පුරවැසියෙකුට මහබැංකු අධිපතිධුරය ලබාදීම සුදුසුද, නැද්ද කියන සංවාදයට පිළිතුරු ලෙස අගමැතිවරයා කියා සිටියේ අර්ජුන මහේන්ද්‍රන් කියන්නේ ලංකාවේ ඉපදුනු කෙනෙක් බවත් ඔහු නිතර ඔහුගේ දෙමාපියන් බැලීමට ලංකාවට එන බවත්ය. ඒ වගේ මෙම ගනුදනෙුව සිදුවූ පසුව විමර්ශන සඳහා අවශ්‍ය ඕනෑම වෙලාවක අර්ජුන මහේන්ද්‍රන්ව ගෙන්වා දීමට හැකි බවත් ඔහු පැවසුවා. නමුත් අද අර්ජුන මහේන්ද්‍රන් ඉන්නේ කොහෙද කියලා හොයාගන්න බැහැ. එනිසා අර්ජුන මහේන්ද්‍රන් ගැන රනිල් වික්‍රමසිංහ ලබාදුන් සහතිකය මොන අධිකරණයේද ප්‍රශ්න කෙරෙන්නේ? මෙම වගකීම් විරහිත පත්කිරීම මෙම ගනුදෙනුවට සෘජුව සම්බන්ධයක් තිබෙනවා.
ඒ වගේම ජනාධිපති කොමිසමේ විනිසුරුවරුන් රනිල් වික්‍රමසිංහගෙන් ප්‍රශ්න කරනවා, අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා කෙනෙකු මහ බැංකුවේ ගනුදෙනුවල තැරැව්කාර සමාගමක අධ්‍යක්‍ෂවරයෙකුව සිටින බව. එනිසාම අර්ජුන මහේන්ද්‍රන් තමන්ගේ බෑනා තැරැව් කටයුතුවලට සහභාගි නොවන බවට දිවුරුම් ප්‍රකාශයක්ද දුන් බව හෙළි වෙනවා. එනිසා මෙවැනි කුප්‍රකට ගනුදෙනුවක් සිදුවිය හැකි බව දැන දැනත් රනිල් වික්‍රමසිංහ විසින් අර්ජුන මහේන්ද්‍රන්ව මහබැංකු අධිපති තනතුරට පත්කොට තිබෙනවා. එනිසා මෙම මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ චූදිත ලැයිස්තුවේ පළමුවැන්නා බවට පත්විය යුත්තේ රනිල් වික්‍රමසිංහයි. මෙම ගනුදෙනුව සිදුවූ පසුව රනිල් වික්‍රමසිංහ කිවුවා, අර්ජුන මහේන්ද්‍රන් ගනුදෙනුවට සම්බන්ධ වුණේ නැහැ කියලා. නමුත් අර්ජුන මහේන්ද්‍රන් තොරතුරු ලබාදුන් බව විමර්ශනවලදී හෙළිවුණා. ඒ වගේම ටෙන්ඩර් මණ්ඩලය යෝජනා කළ මුදලට අර්ජුන් මහේන්ද්‍රන් එකඟ නොවීම නිසා විශාල පාඩුවක් සිදුවී ඇති බව තහවුරු වෙනවා. එනිසා ජනාධිපති කොමිෂන් වාර්තා විසින් නිර්දේශ කර තිබෙනවා, එම ගනුදෙනුවේ පාඩුව වන රු. මිලියන 688 අර්ජුන මහේන්ද්‍රන්ගෙන් අයකර ගත යුතු බව. එය ඉතාම වැදගත් නිර්දේශයක්.
රටේ ගරු අධිකරණයටත් බැහැර කරන්න බැහැ දේශපාලන සම්බන්ධතා. අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට කැඳවීම, ඔහු මහ බැංකු අධිපතිවරයා ලෙස පත්කිරීම, මුදල් අමාත්‍යාංශය යටතේ තිබුණ මහ බැංකුව අගමැතිවරයා යටතට ලබාගැනීම, අර්ජුන මහේන්ද්‍රන්ගේ බෑනා තැරැව්කරුවෙකු බව දැන දැනම මහ බැංකු අධිපති තනතුර ලබාදීම, කෝප් පරීක්‍ෂණවලදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් තොරතුරු එළියට ලබාදීම, විගණකාධිපතිවරයාට ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් බලපෑම් කිරීම, අගමැතිවරයා විසින් ඔවුන්ට වාසිදායක ලෙස පිටිපන කමිටුව පත්කිරීම, යන සියල්ල මෙම ගනුදෙනුවට සම්බන්ධ දේශපාලන සම්බන්ධතාවයක් තිබෙනවා. ඒ වගේම රවී කරුණානායක අමාත්‍යවරයාට තමන්ගේ ඇමතිධුරය අහිමි වුණේ පර්පචුවල් සමාගම සමග සම්බන්ධතා තිබුණු නිසයි. ඔහුට නැවත ඇමතිධුරය ලැබුණේ නිවැරදි වූ නිසා නොව දේශපාලන බලය නිසයි. එම නිසා රවී කරුණානායක තවමත් නිවැරදි වෙලා නැහැ. එම නිසා මෙම දේශපාලකයින්ගේ සම්බන්ධතාවය නිලධාරීන්ගේ සම්බන්ධතාවය සහ අනෙකුත් චෝදනා ලැබූ සියලුම දේශපාලනඥයින් අධිකරණය හමුවට ගෙන ආ යුතුයි.
මෙම ගනුදෙනුවට සම්බන්ධ අවශ්‍ය සියලුම නිර්දේශ කෝප් කමිටුව සහ ජනාධිපති කොමිසම විසින් ලබාදී තිබෙනවා. ඒ අනුව මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව විසින් ගතයුතු ක්‍රියාමාර්ග තිබුණා. රටට හෙළිදරව් නොවුණත් 2009 මාර්තු 22වැනිදා මහ බැංකුව කෝප් කමිටුවට කැඳෙව්වා. ගතයුතු නිර්දේශ සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකළා. එහිදී අපි මහ බැංකුවෙන් ප්‍රශ්න කළා, මෙවැනි දූෂිත ගනුදෙනු වළක්වන්න ගත් ක්‍රියාමාර්ග මොනවද කියලා. එහිදී මහ බැංකුවේ නිලධාරීන් කියා සිටියේ බැඳුම්කර ගනුදෙනු සිදුවන විට පුද්ගලයින්ට තොරතුරු පිටතට ලබාදීමට නොහැකි වන ලෙස පරිගණක් ක්‍රියාවලියක් සකස් කොට තිබෙනවා කියලා. ඒ අනුව අපිට තහවුරු වුණේ මීට පෙර බැඳුම්කර ගනුදෙනුවල තොරතුරු පිටතට යාමට අවස්ථාවක් තිබුණු බවයි.
මෙම බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකළ යුතු බව කෝප් කමිටුවෙන්ද නිර්දේශ කොට තිබෙනවා. නමුත් දැන් වසර 3ක් ගතවෙලත් එම වෝහාරික විගණනය ආරම්භ කොට නොතිබීම ගැටලුවක්. මෙම මහ බැංකු ගනුදෙනුවට සම්බන්ධ සියලු තොරතුරු හෙළිදරව් කරගත්තේ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවයි. එසේ තිබියදී මෙම වෝහාරික විගණනය විදෙස් සමාගම්වලට ලබාදීමේ සූදානමක් තිබෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 900ක් වැයවන බව ගණන් බලා තිබෙනවා. නමුත් මෙම වෝහාරිග විගණනය විදෙස් සමාගමකට ලබාදීම පිළිබඳව අපිට බරපතළ සැකයක් මතුවෙනවා. මොකද මෙහි ඇතැම් දුරකතන සංවාද තිබෙන්නේ සිංහල භාෂාවෙන්. ඒවා භාෂා පරිවර්තනයකට ලක්කළ යුතුයි. මේවා ගැන සලකා බලද්දී විදෙස් සමාගමකට ලබාදීම කල් මැරීම සඳහා කරන උපක්‍රමයක් බව පැහැදිලියි. ඒ වගේම ඇතැම් චූදිතයින් තවමත් තනතුරුවල සිටීම ගැටලුසහගතයි. එනිසා මහ මොළකාරයින් බේරලා නිලධාරීන් කිහිප දෙනෙකු පිටින් මෙම මහබැංකු බැඳුම්කර ගනුදෙනුව යැවීමට දරන උත්සාහය වළක්වා අගමැතිවරයාගේ සිට මෙම ගනුදෙනුවට සම්බන්ධ සියලුම දේශපාලකයින්ට දඬුවම් ලබාදිය යුතුයි.
මෙම ගනුදෙනුව සිදුවූ මොහොතේ පමණක් පාඩුව බිලියන 1.6ක් වෙනවා. ඊට අමතරව තවත් බිලියන 40ක ගනුදෙනුවක් වෙනම තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කිසිදු පරීක්‍ෂණයක් ආරම්භ වෙලා නැහැ. මෙම ගනුදෙනුවට පෙර තිබුණු පොලී අනුපාත 9% සිට 15% දක්වා ඉහළ ගියා. මෙම ගනුදෙනුවල කිසිම අයුරකින් සම්බන්ධ නැති සාමාන්‍ය ජනතාව මෙම පොලී අනුපාතවල ඉහළ යාමේ බලපෑමට ලක්වෙනවා. එම නිසා මෙම ගනුදෙනුවෙන් වාසි ගත්ත දේශපාලක වංචාකාරයින් නීතිය හමුවට ගෙනා යුතුයි. දැනට නම්කොට තිබෙන චූදිතයින් දහ දෙනා අතර මෙම ගනුදෙනුවට සම්බන්ධ ප්‍රධාන දේශපාලකයින් නැති බව අපිට විශ්වාසයි. එම දේශපාලකයින් ජනතා බලයෙන් පරාජයට පත් කිරීමට පියවර ගත යුතුයි. ජනතා අධිකරණයේදී ඔවුන් හෙළිදරව් කළ යුතුයි.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්…
ඩිව් ගුණසේකර කෝප් සභාපතිවරයා ලෙස බැඳුම්කර සම්බන්ධ අනු කාරක සභාවක් පත්කළා. එම අනුකාරක සභාවේ වාර්තාව ප්‍රධාන කාරක සභාවට ඉදිරිපත් කිරීමටත් පෙර එවකට පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. එම විසුරුවා හැරීම මෙම බැඳුම්කර ගනුදෙනුවේ විමර්ශන නැවැත්වීමට සිදුකළා යැයි කියන සැකය අපිට තිබෙනවා. එම අනුකාරක සභාවට අර්ජුන මහේන්ද්‍රන් සාක්‍ෂි ලබාදෙමින් පැවසුවේ ඔහු එම ගනුදෙනුවට මැදිහත් වුණේ අගමැතිවරයාගේ උපදෙස් මත බවයි. එවැනි සාක්‍ෂියක් ඔහු ලබා දුන්නේ මුළුමනින්ම ඔහුගේ ගැලවීමටයි. මා, සභාපතිත්වය දරන කෝප් කමිටු පරීක්‍ෂණයටද ඞ්ව් ගුණසේකර කෝප් අනු කාරක සභාවේ වාර්තාව යොදා ගත්තා. නමුත් අර්ජුන මහේන්ද්‍රන්ගේ සාක්‍ෂිය මුළුමනින්ම අපි සැලකිල්ලට ලක් නොකළේ එම සාක්‍ෂිය ඔහුත් අගමැති රනිල් වික්‍රමසිංහත් මෙම වගකීමෙන් නිදහස් වීමට ලබාදුන් සාක්‍ෂියක් වීම නිසයි. එහෙත් අර්ජුන මහේන්ද්‍රන් සෘජුවම මෙම ගනුදෙනුවට සම්බන්ධයි. රනිල් වික්‍රමසිංහගේ දේශපාලන සම්බන්ධයක් තිබෙනවා. අර්ජුන මහේන්ද්‍රන් නම් චූදිතයා ආරක්‍ෂා කිරීම නිසා රනිල් වික්‍රමසිංහ චූදිතයෙක් වෙලා ඉවරයි.

මාධ්‍ය ඒකකය
ජනතා විමුක්ති පෙරමුණ
2019.06.14

Your Comments