මහමැතිවරණ දිනයට එරෙහි පෙත්සම් අද යළි විභාගයට

29

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කෙරුණු ගැසට් නිවේදනය හා ජුනි 20 වනදා මැතිවරණය පැවැත්වීමට ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් අද යලි සලකා බැලිමට නියමිතයි.
පසුගිය සතිය පුරාවටම එම පෙත්සම් සලකා බැලිම සිදු වු අතර අද දිනයේ එය සලකා බැලෙන්නේ 6 වන දිනටයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ , සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ මෙම පෙත්සම් සලකා බැලීම සිදු වනවා.
නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනි ද සිල්වා මහත්මිය අද වැඩිදුරටත් සිය කරුණු දැක්වීම ආරම්භ කළ බවයි නිව්ස් 24 අධිකරණ වාර්තාකරු පැවසුවේ.
පාර්ලිමේන්තු මැතිවරණ පනතට අනුව රජයේ නිවාඩු දිනවල නාම යෝජනා පත්‍ර භාර ගැනීම සදහා නීතිමය බාධාවන් නොමැති බව විවිධ නඩු තීන්දු උපුටා දක්වමින් මෙහිදී අතිරේක සොලිසිටර් ජනරාල්වරිය පෙන්වා දුන්නා.
පෙත්සම්කරුවන් ඉල්ලා සිටින පරිදි මහ මැතිවරණය සඳහා නාමයෝජනා පත්‍ර භාර ගැනීම නීති විරෝධී බවට තීන්දු කළහොත් අලුතින් නාම යෝජනා පත්‍ර කැඳවීමට පාර්ලිමේන්තු මැතිවරණ පනත යටතේ ප්‍රතිපාදන සලසා නොමැති බව ද ඇය පෙන්වා දුන් බව සදහන්.

Your Comments