මරණ දඬුවම ගැන වාර්තාවක් ලැබී නෑ – බන්ධනාගාර කොමසාරිස් අභියාචනාධිකරණයට කියයි

22

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම එළැඹෙන සතිය දක්වා සිදු නොකරන බව බන්ධනාගාර කොමසාරිස් ජයසිරි ජයනාත් තෙන්නකෝන් මහතා අද(28) අභියාචනාධිකරණය හමුවේ ප්‍රකාශ කළා. අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන් වෙත වැඩිදුරටත් බන්ධනාගාර කොමසාරිස්වරයා පවසා සිටියේ මරණ දඬුවම සම්බන්ධයෙන් වාර්තාවක් මෙතෙක් තමා වෙත ලැබී නොමැති බවයි.
ඒ අනුව අදාළ රීට් පෙත්සම සලකා බැලීම ජුලි මස දෙවනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරිල් පුල්ලේ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා විසින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගත් තීරණය අභියෝගයට ලක්කරමින් මෙලෙස රීට් පෙත්සමක් විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි.
එ් අනුව අදාළ පෙත්සම එරෙහිව මූලික විරෝධතා ඉදිරිපත් කරන බව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලමින් අභියාචනාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබුණේ මලින්ද සෙනෙවිරත්න නමැත්තෙක්.

 

Your Comments