මන්නාරම සමූහමිනිවළ තුළින් කාබන් පරීක්ෂාවට යොමු කරන අස්ථි කොටස් ගැනීම අරඹයි

25

මන්නාරම සමූහ මිනිවළ තුළින් ‍සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත සාම්පල් ගැනීම ඊයේ(18) සිට ආරම්භ කළ බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම්කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සමින්ද රාජපක්ෂ මහතා පවසනවා.

රාජපක්ෂ මහතා පැවසූවේ මන්නාරම මහේස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්, පුරාවිද්‍යාව පිළිබද විශේෂඥකැළණිය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ්සෝමදේව මහතා, අතුරුදහන්වූවන් පිළිබද කාර්යාලයේ නියෝජිතයින්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්,මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්, රජයේ නීතීඥවරුන්ඇතුළු කණ්ඩායමක් ඉදිරිපස අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත අස්ථි කොටස්සාම්පල ලබා ගැනීම සිදුකරන බවයි.

අස්ථි කොටස් සාම්පල හයක් කාබන් පරීක්ෂාවට යොමුකිරීමට නියමිත බැවින් සමූහ මිනිවළ භූමියේ ස්ථාන හයකින් අස්ථි සාම්පල ලබාගැනීමට නියමිත අතර,මේ වන විට අස්ථි කොටස් සාම්පල දෙකක් ලබාගෙන ඇති බවද හෙතෙම කියා සිටියා.

අනෙකුත් අස්ථි කොටස් සාම්පල අද(19) දිනයේ ලබා ගැනීමට නියමිත අතර කාබන් පරීක්ෂාවට යොමු කරන අස්ථි කොටස් ෆ්ලෝරිඩාවේ කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමු කිරීමට නියමිත බවද රාජපක්ෂ මහතා පැවසුවා.

සියළු පාර්ශ්ව වෙනුවෙන් විනිවිධභාවය ආරක්ෂ වන ආකාරයෙන් කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි කොටස් කැබලි ලබාගන්නා අතර, කිසිදු ආකාරයක දෝෂයක් නොවන ආකාරයට සියළු පාර්ශවවල නිරීක්ෂණ මත කාබන් පරීක්ෂාවට යොමුකරන අස්ථි ලබාගන්නා බවද  රාජපක්ෂ මහතා පැවසීය.

මේ වන විට සමූහ මිනිවළ සම්බන්ධයෙන් දින 119 ක කාලයක් පරීක්ෂණ පවත්වා ඇති අතර, සමූහ මිනිවළ තුළින් මිනිස් අස්ථි කොටස් 280 කට අදාළ අස්ථි හදුනාගෙන ඇති බවද ඔහු කියා සිටියා.

හඳුනාගත් අස්ථි කොටස්තුළින් මිනිස් සිරුරු 273 කට අදාළ සිරුරු ගොඩගෙන ඇති බවත්, ගොඩගත් අස්ථි කොටස් මන්නාරම අධිකරණ සංකීර්ණයේ වි‍ශේෂිත කුටියක තම ආරක්ෂාව යටතේ තැන්පත් කොට තිබෙන බවද රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියා.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟිල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වැනිදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුවා.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි. ඇලෙක්ස්රාජා මහතාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටි. සරවනරාජා මහතාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමින්ද රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්,මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වනු ලබනවා.

වර්තමාන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් විමසීමේදී සෝමදේව මහතා පැවසූවේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි.

අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම කියා සිටියා.

සාම්ප්‍රදායික සුසාන භූමියක අස්ථි තැන්පත්කොට තිබෙන ආකාරයෙන් ඔබ්බට වන ආකාරයට ඇතැම් අස්ථි හමුවි ඇති බවද හෙතෙම වැඩිදුරටත් කියාසිටියා.

මාධව කුලසූරිය – වවුනියාව

Your Comments