මංගලගෙන් ‘ජනමාධ්‍ය’ ගැලවෙයි

25

ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා ජනපති ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඒ ඊයේ (22) රාත්‍රියේ ජනාධිපති නිල නිවසේ දී.

මේ අතර මුදල් කැබිනට් අමාත්‍යවරයා ලෙස මංගල සමරවිර මහතා ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

රුවන් විජේවර්ධන මහතාගේ මුත්තණුවන් වන්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තයෙකු මෙන්ම ලේක්හවුස් ආදී කර්තෘවරයා ද වූ ප්‍රකට ව්‍යවසායක ඩී.ආර්.විජේවර්ධන මහතායි.

විජේවර්ධන මහතාගේ 133 වැනි ජන්ම දිනය අදට (23) ට යෙදී ඇති අවස්ථාවක විජේවර්ධන මහතා නව තනතුරට පත්වීමත් සුවිශේෂ සිදුවීමකි.

කොළඹ ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලයෙන් අධ්‍යාපනය ඇරඹූ රුවන් විජේවර්ධන මහතා උසස් අධ්‍යාපනය ලැබුවේ එක්සත් රාජධානියේ සසෙක්ස් විශ්වවිද්‍යාලයෙන්.

1998 වසරේ ඔහු වෘත්තිය දිවිය ඇරඹුවේ සතිමැද පුවත්පතක් වන “මිඩ් වීක් මිරර්” පුවත්පත සමගයි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇරයුමින් ක්‍රියාකාරී දේශපාලනයට පැමිණි රුවන් විජේවර්ධන මහතා 2009 වසරේ පළාත් සභා මැතිවරණයෙන් ජයගෙන බස්නාහිර පළාත් සභාවට පිවිසියේ විපක්‍ෂයේ වැඩිම මනාප ලබා ගනිමින්.

එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික තරුණ පෙරමුණේ සභාපතිවරයා වූ රුවන් විජේවර්ධන මහතා 2010 මහා මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

2015 ජනාධිපතිවරණයෙන් පසු නව රජයේ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූයේ ද රුවන් විජේවර්ධන මහතායි.

Your Comments