බැසිල්ගේ දිවි නැගුම නඩුව ලබන මස 7 වනදා දක්වා කල් තැබෙයි

9

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුලු විත්තිකරුවන් 5දෙනෙකුට එරෙහිව අධි චෝදනා 5ක් යටතේ කොළඹ මහාධිකරණය හමුවේ ගොණුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය ලබන මස 7වනදාතෙක් කල් දමා තිබෙනවා.
මෙම නඩුව විභාග කරන මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා අද දිනයේ නිවාඩු ගෙන තිබීම හේතුවෙන් සාක්ෂි විභාගය කල් තැබීමට මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා තීරණය කළා
පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2991ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුලු අධි චෝදනා 5ක් යටතේයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුලු විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ.
මේ අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා වවුනියාව හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, ඇතුළු 06 දෙනෙකු වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට නියෝග කර තිබෙනවා.
ඒ, 2011 වසරේ මාර්තු මස 30 වැනිදා හිටපු මන්ත්‍රීවරයා, පැදවූ ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සෙට්ටිකුලම රෝහල අසලදී සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් පොලිස් සැරයන්වරයෙකු මිය යාමේ සිද්ධියට අදාළවයි.
ඒ අනුව මෙම අනතුරට අදාළ විමර්ශනවල උධෘත නීතිපතිවරයා වෙත යොමු කර තිබෙනවා.

Your Comments