බස් ගාස්තු අඩු කිරීමට බස් සංගම්වල අවධානය
අනුර ප්‍රේමකුමාර

50

බස් ගාස්තු සංශෝධනයක් කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ අවධානය යොමුව තිබෙනවා. ඒ ඊයේ (01) රාත්‍රියේ සිට ඩීසල් මිල රුපියල් 7කින් අඩු කිරීමේ වාසිය ජනතාවට ලබාදීමේ අරමුණින් බවයි වාර්තා වන්නේ. ඒ සම්බන්ධනයෙන් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා නිව්ස්24 වෙත කියා සිටියේ ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් එළැඹෙන ඉරිදා දිනයේදී තීරණයක් ගන්නා බවයි. එලෙස ගාස්තු සංශෝධනයක් වන්නේ නම් 2%ක පමණ ගාස්තු අඩු වීමක් බලාපොරොත්තු විය හැකි බවද ඔහු කියා සිටියා.
මේ සම්බන්ධයෙන් සමස්ත ලංකා බස් හිමියන්ගේ සංගමයේ සභාපති ස්ටැන්ලි ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදී කියා සිටියේ පත්වූ නව රජය ඉන්ධන මිල රුපියල් 7කින් අඩු කිරීමේ වාසිය ජනතාවට ලබාදීමේ අරමුණින් ඉදිරියේදී ඉන්ධන මිල සංශෝධනයක් කිරීමට බලාපොරෙත්තු වන බවත් එළැඹෙන සතියේදී තම සංගමය සමග සාකච්ඡා කිරීමෙන් පසුව අදාළ තීරණය ගන්නා බවත්ය. එසේම තම සංගමය ඉදිරියේදී නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට සූදානම් බවත් ඔහු වැඩිදුරටත් නිව්ස්24 වෙත කියා සිටියා.

Your Comments