බලංගොඩ දී අපයෝජනයට ලක් වූ ‘උසස් පෙළ අපේක්ෂිත සිසුවිය’ මරුට

293

බලංගොඩ ප්‍රදේශයේ දී අපයෝජනය ට ලක් වූ බව පැවසෙන දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (07) පස්වරුවේ සිදුකර තිබෙනවා.

එහිදී අධිකරණ වෛද්‍යවරයා විසින් දැරියගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා බවටයි දන්වා ඇත්තේ.

රාවණා කන්ද ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි දැරිය උසස් පෙළ සඳහා බලංගොඩ පාසලකට ඇතුළත් වීමට නියමිතව සිට තිබෙනවා.

ඒ අනුව අලුත් ඇඳුමක් මැසීමට දී එය ලබා ගැනීමටයි පසුගිය 5 වැනි දා ඇය බලංගොඩ නගරයට ගොස් ඇත්තේ.

ඒ ගමනේ දී ඇය අතුරුදන්ව ඇති බව සඳහන්.

දෙමාපියන් ඒ පිළිබඳ පොලීසියට පැමිණිලි කර තිබෙනවා.

පසු දින දෙමාපියන් ට දැරිය පින්නවල, ගයහිවත්ත ප්‍රදේශයේ නිවෙසක සිටින බවට හෝඩුවාවක් ලැබී තිබුණා.

ඒ පිළිබඳ පොලීසිය දැනුම්වත් කළත් දෙමාපියන් පවසන්නේ පොලීසිය, දැරිය සිට ඇති ස්ථානයට නොගිය බවයි.

පියා සහ තවත් පිරිසක් දැරිය සිටි ස්ථානයට ගොස් තිබූ අතර දියණිය නිවසක ඇඳක් මත වැතිර සිටි බවයි පැවසෙන්නේ.

එම ස්ථානයේ සිටි තරුණ සැකකරුවෙකු අල්ලා පොලීසියට භාර දීම ට කටයුතු කළ එහි ගිය පිරිස දැරිය වහා බලංගොඩ රෝහල ට ඇතුළත් කිරීමට පියවර ගත්තා.

සැකකරු 24 හැවිරිදි බලංගොඩ, සින්නවල, ගයිවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක්.

දැරියට සැත්කමක් කිරීමට සිදු වූ බව රෝහලෙන් පැවසුව ද දැරිය පසුව මියගොස් තිබෙනවා.

අධික රුධිර වහනය හේතුවෙන් 07දා පස්වරුවේ ඇය මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

දැරිය බළන්ගොඩ, පින්නවල, රාවණාකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි තරුණියක්.

අත්අඩංගුවට ගත් සැකකරු 21 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළා.

පින්නවල පොලිසිය විමර්ශන මෙහෙයවනවා.

Your Comments