බන්ධනාගාර රැදවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

10

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ කොරෝනා වෛරස් ආසාදනය වූ සංඛ්‍යාව 519 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් 440ක්ම රැදවියන් වන බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා කියා සිටියේ.
එමෙන්ම, පසුගිය දින කිහිපය තුළ පුද්ගලයින් 800කට ආසන්න ප්‍රමාණයක් නිරෝධානයට ලක් කර ඇති බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.
ඊයේ දිනයේදී අනුරාධපුර රාජාංගණය යාය 1,3 සහ 5 යන ප්‍රදේශවල සංචරණ සීමා පැනවීමට ද සෞඛ්‍ය අංශ පියවර ගනු ලැබුවා.
දැනට රාජාංගණය ප්‍රදේශයෙන් පමණක් කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු ඊයේ දිනයේදීත් වාර්තා වීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 2646 දක්වා ඉහළ ගියා.
ඉන් 14 දෙනෙකු කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සහ 11 දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් සොයා ගනු ලැබූ අතර, රාජාංගණය ප්‍රදේශයෙන් තවත් ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වුණා.
මේ අතර බන්ධනාගාර රැදවියන් නඩු කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීම තාවකාලිකව නතර කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
සෞඛ්‍ය අංශයන්හි උපදෙස් මත මෙම පියවර ගැනුණු බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පවසන්නේ.
ඒ අනුව අදාළ අධිකරණ කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට නියමිත බවත් ඇතැම් නඩු විභාග කිරීමේ දිනයන් දීර්ඝ කිරිමට ද පියවර ගෙන තිබෙනවා.
එසේම බන්ධනාගාර අතර රැඳවියන් හුවමාරු කිරීමේ කටයුතුද තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර ඇති බවට වාර්තා වනවා.
මීට අමතරව මාලදිවයිනේ සිට මෙරටට පැමිණ නිරෝධායනය වන පුද්ගලයින් දෙදෙනෙකුටත් කොරෝනා ආසාදනය වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මේ අතර නාවික හමුදාවේ කොරෝනා ආසාදනය වූ තවත් 3 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබූ මුළු සංඛ්‍යාව 898 දක්වා ඉහළ යන බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා සඳහන් කළේ.
තවත් නාවික හමුදා සාමාජිකයන් 9 දෙනෙකු පමණක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Your Comments