පාසල් සිසුන් ප්‍රවාහනය කළ බස් රථයක් අඩි 20ක ප්‍රපාතයකට පෙරළෙයි
ළමුන් 18ක් සහ වැඩිහිටියන් 10 දෙනෙකුට තුවාල

49

හැටන් සිට බගවන්තලාව දක්වා පාසල් ළමුන් ප්‍රවාහනය කළ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලිමෙන් එම බස රථයේ ගමන් ගත් පාසල් ළමුන් 18 දෙනෙක් සහ වැඩිහිටියන් 10 දෙනෙක් තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා.

මෙම අනතුර අද (08) පස්වරු 3 ට පමණ සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ දික්ඔය වනරාජා වත්ත ප්‍රදේශයේදියි.

ධාවනය වෙමින් තිබු බස් රථයේ ඉදිරියට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වූ ලොරි රථයට ඉඩ ලබාදීමට යාමේදි බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 20 පමණ ප්‍රපාතයට පෙරලි ඇති බවයි පොලිසිය පැවසුවේ.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ  ප්‍රදේශයේ දැඩි අයහපත් කාලගුණ තත්ත්වයක් පැවැති බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

හැටන් ප්‍රදේශයේ පෞද්ගලික ජාත්‍යන්තර පාසලක අද පැවති පූජාවකට සහභාගි වී ආපසු නිවෙස් කරා යමින් සිටි ළමුන් පිරිසක් සහ ඔහුන්ගේ දෙමාපියන් පිරිසකුයි මෙලෙස තුවාල ලබා ඇත්තේ.

අනතුරෙන් තුවාල ලැබු ළමුන් වයස අවුරුදු 6 ත් 15 අතර වයස් කාණ්ඩවල පසුවන අය බවත්, තුවාල ලැබු පාසල් සිසුන්ගේ සහ වැඩිහිටියන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් පවසනවා.

අනතුරින් බස් රථයේ රියදුරාද තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර අනතුර පිලිබදව හැටන් පොලිසිය පරික්ෂණ සිදු කරනු ලබනවා.

රංජිත් රාජපක්ෂ – හැටන්

Your Comments