ප්‍රචණ්ඩත්වයට ගියොත් හිරේ යන නීති රෙගුලාසි මෙන්න !

45

රට තුළ පවතින වාතාවරණය හේතුවෙන් පොදු ජනතාවගේ අවධානයට යොමු විය යුතු නීති රෙගුලාසි හා වගන්ති කිහිපයක් පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා

ඒ අනුව 2019 අංක 01 දරණ හදිසි අවස්ථා විධි විධාන හා බලතල රෙගුලාසි අංක 32 යටතේ මහජනතාව බිය වැද්දවිය හැකි හෝ කැළඹිය හැකි කිසිම කටකතාවක් හෝ අසත්‍ය ප්‍රකාශයක් කට වචනයෙන් හෝ වෙන කවරවූ හෝ ක්‍රමයකින් සන්නිවේදනය කිරීම, ප්‍රචලිත කිරිම හෝ පැතිරවීම කිසිම තැනැත්තකු විසින් නොකළ යුතුයි.

අදාල රෙගුලාසි උල්ලංඝනය කරන අයෙකු වරදකරු වුවහොත් මාස 03ත් අවුරුදු 05ත් අතර බරපතළ වැඩ සහිත සිර දඬුවමකට යටත් කළ හැකි බව සඳහන්.

එමෙන්ම 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය පනතෙහි 3(1) වගන්තිය යටතේ කිසිම තැනැත්තෙකු විසින් යුද්ධය පැතිර වීම හෝ වෙනස් ලෙස සැලකීමට, එදිරිවාදීකම්වලට හෝ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමු කිරීම, සංයුක්තවන ජාතික වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම නොකළ යුතුයි.

මෙම වගන්ති කඩ කරන අයෙකුට බරපතළ වැඩ සහිතව වසර 10කට නොවැඩි සිර දඬුවම් නියම කළ හැකි බවයි රජය පෙන්වා දෙන්නේ.

එමෙන් ම 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 2(1) ඌ වගන්තිය අනුව සාහසික ක්‍රියා හෝ විවිධ ජන කොටස් නැතහොත් වර්ගීය හෝ ආගමික කණ්ඩායම් අතර, වර්ගීය නැතහොත් ජාතිවාදී අසංගතිය නැතහොත් දුර්වේතනික හෝ එදිරිවාදී හැඟීම් ඇති වීමට සලස්වන්නා වූ හෝ ඇතිවිමට සැලැස්විමට අදහස් කරන්නා වූ අයට ද දඩුවම් පැනවිය හැකියි.

ඔවුන්ට එරෙහිව අවුරුදු 05ත් අවුරුදු 20ත් අතර සිරදඩුවම් නියම කළ හැකි බව සඳහන්.

Your Comments