“පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්න”

30


ජනාධිපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින්, මේ වන විට පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

මේ වන විට පළාත් සභා 06ක කටයුතු අකී‍්‍රය වී තිබෙන අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කිසිසේත් හිතකර තත්ත්වයක් නොවන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂා කළ අරමුණුවලට ද එය පටහැනි බව ජනාධිපතිවරයා සඳහන් කළා.

එබැවින් ජනාධිපතිවරණයක් ගැන අදහස් පළ කරන පිරිස් ඊට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් විය යුතු බවත්, තමන් ඒ පිළිබඳ මේ වන විටත් මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කර තිබෙන බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියා.

ඌව සහ මධ්‍යම පළාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරු සමග ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (13) පස්වරුවේ පැවැති හමුවක දී ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළා.

Your Comments