පශු වෛද්‍යවරිය සමූහ දූෂණය කර මරා දැමූ සිව් දෙනා පොලිස් වෙඩි පහරින් මරුට [PHOTOs]
පොලිසියේ තුනකට වැඩ තහනම්

99

ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරදී පශු වෛද්‍යවරියක දූෂණය කර, ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනා පොලිස් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

සැකකරුවන් අලුයම 3. 00 ට පමණ අපරාධය සිදුවූ ස්ථානයට රැගෙන ගොස් විමර්ශන සිදු කරන ආවස්ථාවේ පොලීසිය සමග ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

ඒ අතර සැකකරුවෙකු අනෙක් සැකකරුවන්ට සංඥා කර ඇත්තේ පොලිසියෙන් මිදී පලා යාමටයි.

එහිදී තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලිසියට පහර දී ආයුධ උදුරා ගැනීමට තැත්කර තිබෙනවා.

ඒ අනුව වෙඩි තැබීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ දක්වා පොලිසියේ නිල ප්‍රකාශයක් නිකුත්ව නැහැ.

තෙලන්ගානා හි තරුණ වෛද්‍යවරිය සමූහ ලෙස දූෂණය කර, මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා අපරාධයෙන් දිනකට පසු අත්අඩංගුවට ගෙන පසුගිය බදාදා සිට පොලිස් අත්අඩංගුවේ පසුවුණා.

සැකකරුවන් වයස අවුරුදු 20ත් 26ත් අතර පසුවන්නන්.

ඔවුන් Mohammed (26), Jollu Shiva (20), Jollu Naveen (20) සහ Chintakunta Chennakeshavulu (20) ලෙසයි හඳුනා ගැනුනේ.

27 හැවිරිදි පශු වෛද්‍යවරිය පසුගිය 28 වැනිදා යතුරු පැදියකින් ගමන් කරමින් සිටින අතරතුර සමූහ දූෂණයට ලක්ව තිබූණා.

පසුව ඇය ඝාතනය කර තිබිය දී සොයා ගැනුණේ හයිද්‍රාබාද් නුවර සිට කිලෝමීටර 60ක් පමණ දුරකින්.

පශු වෛද්‍යවරිය සමූහ දූෂණයට ලක්කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව දැඩි දඬුවම් දෙන්නැයි ඉල්ලා පසුගිය දින කිහිපයේම ඉන්දියාවේ ප්‍රදේශ රැසක ජනතාව වීථි බැස ඉල්ලීම් කළා.

සැකකරුවන් ට්‍රක් රථ රියදුරු සහ පිරිසිදු කරන්නන් ලෙස කටයුතු කළ සිව් දෙනෙක්.

නොවැම්බර් 28 වනදා පශු වෛද්‍යවරිය සිය ස්කූටරය කුටියක් අසල නවතා තවත් වෛද්‍යවරයකු හමුවීමට ගොස් තිබුණා.

සැකකරුවන් ස්කූටරයේ ටයරයකට හානි කර නොදන්නා සේ සිට ඇය පැමිණි විට දී උපකාර කිරීමට ඉදිරිපත්ව තිබෙනවා.

උදව් කරන ලෙස මවා පාමින්, පාළු ස්ථානයකදී ඇය සමූහ දූෂණය කර, ගෙල සිර කර මරා සිරුර පුළුස්සා දමා තිබු බවටයි වාර්තා වූයේ.

දැඩි මහජන කැළඹිලි තත්වය හමුවේ මෙම නඩුව විභාග කිරීම සඳහා තෙලන්ගානා නීති දෙපාර්තමේන්තුව කඩිනම් අධිකරණයකට අනුමැතිය ලබා දී තිබුණා.

මේ අතර තෙලන්ගානා පශු වෛද්‍යවරිය සමූහ දූෂණය කිරීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකුගේ සේවය අත්හිටුවා තිබෙනවා.

ඒ ‘අතුරුදහන් වූ කාන්තාවක් සම්බන්ධයෙන් එෆ්.අයි.ආර්. ලියාපදිංචි කිරීම’ ප්‍රමාද කිරීම සම්බන්ධයෙන්.

‘රාජකාරිය පැහැර හැරීම’ යන චෝදනාව සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන්ගේ වැඩ තහනම් කෙරුණා.

ඇය අතුරුදහන් වූ බවට වාර්තාවී තිබිය දීත් නොවැම්බර් 28 රාත්‍රිය දක්වා පොලිසිය වාර්තාවක් ගොනු කිරීම ප්‍රමාද කළ බවටයි වින්දිතයාගේ පවුලේ සාමාජිකයන් චෝදනා කර තිබුණේ.

Your Comments