‘නිල් වීඩියෝ’ ඇතුළේ හංගපු අයි.එස්. රහස් තොරතුරු ගම්පොලින් මතුවෙයි

1508

ජාතික තව්හිත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ මධ්‍යම පළාතේ මූල්‍ය පාලකවරයා බව කියන අත්අඩංගුවට ගත් 40 හැවිරිදි විවාහක පුද්ගලයාගෙන් රහස් තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

ගම්පොළ නගරයේදී ඊයේ (2) පෙරවරුවේ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තා.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු පසුගියදා 28 වනදා ගම්පොල දී අත්අඩංගුවට ගත්තේ පාවහන් වෙළඳ සැලක සැඟව සිටිය දී.

එම ව්‍යාපාර ආයතනයට ආසන්න කුළී නිවසක රැඳී සිටියදී තව්හිත් ජමාත් ත්‍රස්ත සංවිධානයේ මධ්‍යම පළාත් මූල්‍ය පාලකවරයා බව පුද්ගලයාඅත්අඩංගුවට ගැනුණා.

සැකකරු සන්තකයේ තිබී ජාතික හැඳුනුම්පත් දෙකක්, සැකකරු විසින් හමුදා ඇඳුමෙන් පිස්තෝලයක් අතැතිව ගන්නා ලද ඡායාරූපය කිහිපයක් ද සොයා ගැනුණා.

ISIS සංවිධානයේ සාමාජිකාවක විසින් පිරිසකට උපදෙස් ලබා දෙන ආකාරයේ හඬ පටයක් ද හමු වී තිබෙනවා.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ දැඩි අවධානය යොමු කරන ලෙස ද ඉන් කියැවෙන බවයි පැවසෙන්නේ.

2017 සිට ජාතික තව්හිත් ජමාත් සංවිධානය වෙනුවෙන් ගනුදෙනු සිදු කරන ලද බැංකු ලදුපත් තොගයක් ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

විවිධ පුද්ගලයන් විසින් සංවිධානයට මූල්‍යාධාර ලබා දුන් සටහන් 200කට වඩා එහි සටහන්ව ඇති බව අනාවරණ වී තිබෙනවා.

වෙනත් පාර්ශව සඳහා කරන ලද ගෙවීම් වෙනුවෙන් වන බැංකු රිසිට්පත් ද එහි ඇතුළත්.

පරිගණකයක්, පාස්කු ඉරිදා ප්‍රහාරය සහ මරාගෙන මැරෙන ක්‍රමවේදය පිළිබඳ සඳහන් වාර්තා ඇතුළත් ජංගම දුරකතන කිහිපයක් ද සොයා ගැනීමට ආරක්ෂා අංශ සමත්ව තිබෙනවා.

විමර්ශනයේ දී දක්නට ලැබී ඇත්තේ මෙම වාර්තා සහ දර්ශන සියල්ල පහසුවෙන් සොයාගත නොහැකි අයුරින් අසභ්‍ය වීඩියෝ දර්ශන සමග මිශ්‍ර කොට ගබඩා කරගෙන ඇති බවක්.

එම වාර්තා සහ දර්ශනවල ත්‍රස්ත සංවිධානය පිළිබඳ සංවේදී වැදගත් තොරතුරු රැසක් ඒවායේ අඩංගු බවටයි හඳුනාගෙන ඇත්තේ.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය 28 අලුයම Saddiq Abdul Haq සහ Shahid Abdul Haq ගම්පොල දී අත්අඩංගුවට ගත්තේ නාවලපිටියේ දී අත්අඩංගුවට ගත් සැකකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුවයි.

මෙම සැකකරුවන් සහෝදරයන් බවයි පොලිසිය පැවසුවේ.

ඔවුන් ඊට පෙර සැඟව සිට ඇත්තේ අනුරාධපුරයේ.

ඔවුන් පැමිණ ඇත්තේ “තෙරුවන් සරණයි” නම් ස්ටිකරය සහිත වෑන් රථයකින්.

අනාවරණ වී ඇති තොරතුරු අනුව මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් අයෙකු වන ෂාහිඩ් අබ්දුල් හක් විසින් මෙම පාවහන් වෙළඳ සැළ මිලට ගෙන ඇත්තේ රුපියල් මිලියන 6.5කටයි.

සපත්තු, බෑග් සහ අනෙකුත් ද්‍රව්‍ය සංවිධානයේ මුදල් භාවිතා කොට මිලයට ගෙන විකිණීම සඳහා තබා ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

ප්‍රධාන සැකකරු වන සහරාන්ගේ දේශන ඇතුළත් DVD තැටි සහ පෙන් ඩ්‍රයිව් කිහිපයක් ද පොලිසීය විසින් සොයා ගත්තා.

ගම්පොළ පොලීසිය විසින් නිරීක්ෂණය කර ඇති ආකාරයට, සංවිධානයේ වැදගත් ලිපි ලේඛණ සහ වීඩියෝ විශාල ප්‍රමාණයක් ගිනි තබා විනාශ කරන්නට සැකකරුවන් කටයුතු කර ඇත්තේ විමර්ශණයට පැමිණෙන ආරක්ෂක අංශ වෙතින් සාක්කි සඟවා තැබීමටයි.

සබැඳි පුවත්

ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකු ගම්පොල සැඟව සිටියදී අල්ලයි (PHOTOs)

Your Comments