නාවික භටයන් 14 දෙනෙක් ඇතුළු 23 දෙනෙක් සුවය ලබා පිටව යයි

16

කොරෝනා වෛසරය ආසාදනය වී රෝහල්ගතව සිටි තවත් ආසාදිතයින් 23 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව කොරෝනා ආසාදිතව සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 366ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අද දිනයේ සුවය ලැබූ ආසාදිතයින් 23 දෙනා අතරින් 14 දෙනෙකු වැලිසර නාවික හමුදා කඳවුරෙන් හඳුනා ගැනුණු විරෝධාර රණවිරුවන් බවද වාර්තා වනවා.
සෞඛ්‍ය අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ IDH, වැලිකන්ද, මුල්ලේරියාව, ඉරණවිල සහ හෝමාගම රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි 23 දෙනෙකු අද දිනයේ සුව ලබා පිටව ගොස් ඇති බවයි.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව වන 869 දෙනාගෙන් මේ වන විට 366 දෙනෙක් සුවය ලබා තිබෙනවා.
තවත් ආසාදිතයින් 494 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.
මේ අතර කොරෝනා රෝගා ලක්ෂණ සහිත බවට සැකය මත තවත් පුද්ගලයන් 117 දෙනෙක් රෝහල්ගතව වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.
ගත වූ පැය විසි හතරක කාලයේදී මෙරටින් කොරෝනා ආසාදිතයන් හය දෙනෙක් පමණක් වාර්තා වී ඇති අතර ඔවුන් සියලුම දෙනො නාවික හමුදා සාමාජිකයන් බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

Your Comments