නව අගමැති ලෙස මහින්ද අද දිව්රුම් දෙයි

9

අග්‍රාමාත්‍යවරයා ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද දිව්රුම් දීමට නියමිතව තිබෙනවා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේදීයි.

මහින්ද රාජපක්ෂ මහතා පස්වරු 1ට අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇති අතර, දිවුරුම් දීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා පස්වරු 3ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී නිල වශයෙන් රාජකාරී ඇරඹීමට ද නියමිතයි.

රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයක දිවුරුම් දෙන තෙවන අවස්ථාව මෙයයි.

නව කැබිනට් මණ්ඩලය ද බොහෝ දුරට අද දිනයේ දී පත්කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද දිනයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු ජනවරම පිළිගෙන එතුමාට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිහිටුවීමට අවස්ථාව ලබා දෙමිනුයි අග්‍රාමාත්‍යවරයා ඊයේ මෙම තීරණය ගනු ලැබුවේ
අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කලා.

රනිල් වික්‍රමසිංහ මහතා මහතා විසින් සිදු කළ විශේෂ ප්‍රකාශය පහතින් දැක්වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිදුකළ විශේෂ ප්‍රකාශය

පසුගිය වසර පහක කාලය තුළ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ හා තොරතුරු දැනගැනීමේ අයිතිය, සමානාත්මතාවය හා සංහිදියාව තහවුරු කරලීම උදෙසා අප කටයුතු කළා. ඒ වගේම තිරසර සංවර්ධන මාවතකට දේශය යොමු කළා.
19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සියලූ ආයතන දේශපාලනීකරණයෙන් නිදහස් කළා. පසුගිය ජනාධිපතිවරණය නිදහස්, ස්වාධීන හා සාධාරණ අන්දමින් පැවැත්වීමට හැකි වීම ඉන් ලද එක් ප්‍රතිඵලයක්.
අප කළ ඒ කටයුතු පිළිබඳව නිවැරදි විනිශ්චය අනාගතය විසින් ලබා දේවි.
මම ඊයේ ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිතුමා හමු වුණා. එතුමා සමග පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව සාකච්ඡා කළා.
පාර්ලිමේන්තුවේ බහුතරය අපට තිබුණත්, රාජපක්‍ෂ මහතාට ලැබුණු ජනවරම පිළිගෙන, එතුමාට අවශ්‍ය පරිදි ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩ සැලසීමට අප තීරණය කළා.
මම ප්‍රජාතන්ත්‍රවාදය අගයනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරනවා. ඒ අනුව යමින් නව ජනාධිපතිවරයාට නව ආණ්ඩුවක් පිහිටුවීමට අවකාශ සලසමින් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට මම තීරණය කළා. මේ බව නිල වශයෙන් මම හෙට ජනාධිපතිතුමාට දැනුම් දෙනවා.
අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ කාලය තුළ මට ප්‍රශංසා වගේම නින්දා අපහසත් එල්ල වුණා. හොඳ වගේම නරක අහන්නත් ලැබුණා.
මට ප්‍රශංසා කළ, නින්දා කළ, හොඳ කියූ, නරක කියූ සියළු දෙනාටම ස්තුතිය පිරිනමනවා.
මගේ රාජකාරි කටයුතු සඳහා සහය වුණු සියල්ලටත් කෘතවේදීත්වය පුද කරනවා.

ස්තුතියි.

මාධ්‍ය ඒකකය
අග්‍රාමාත්‍ය කාර්යාලය

2019.11.20

Your Comments