තැපල් වර්ජනයෙන් ජාත්‍යන්තර තැපෑලටත් බලපෑම් – වර්ජකයින් අඛණ්ඩ උපවාසයකට

50

මෙරට තැපැල් සේවක ගැටලූ කිහිපයකට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ විසින් ඉකුත් 11 වැනිදා සිට දිවයින පුරා වැඩවර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.
වර්ජනය සඳහා තැපැල් සේවකයින් 26,000 කට වැඩි පිරිසක් එක්ව සිටිනවා.
ඊයේ දිනයේදී විෂයභාර අමාත්‍ය අබ්දුල් හලීම් මහතා කියා සිටියේ වර්ජනය අතහැර සාකච්ඡා සඳහා අදාළ වෘත්තිය සමිති පැමිණීමට කටයුතු කළ යුතු බවයි.
කෙසේ වෙතත් ඒකාබද්ධ තැපල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කළේ ගැටලු සඳහා නිසි විසදුම් ලබා නොදුනහොත් වර්ජනය අඛණ්ඩව සිදු කරන බවයි.
ඒ අනුව අද පෙරවරුවේ කොළඹ මධ්‍යම තැපල් හුවමාරුව අසලදී අඛණ්ඩ උපවාසයක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද හෙතෙම සඳහන් කළා.
මේ අතර, පසුගිය මස 26 වනදා පැවැත්වීමට නියමිතව තිබූ බස්නාහිර රාජ්‍ය සේවයේ සමූපකාර සංවර්ධන නිලධාරී තුන්වන ශේණියට බඳවාගැනීම සඳහා වූ තරග විභාගය මේ මස 24 වනදා කොළඹ – අශෝක විද්‍යාලයේදී පැවැත්වෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
තැපැල් වර්ජනය හේතුවෙන් නව විභාග ප්‍රවේශපත්‍ර නොලැබුණු අපේක්ෂකයින්ට පැරණි ප්‍රවේශපත්‍රය ඉදිරිපත් කර විභාගයට පෙනී සිටිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Your Comments