“ත්‍රස්තවාදයට එරෙහි නොවූ අය මරණ දණ්ඩනයට එරෙහිවෙලා”

27

ත්‍රස්තවාදී ව්‍යාපාර මුලිනුපුටා දැමීමට නව නීති ගෙන ඒමට කටයුතු නොකළ ඇතැමි පිරිස් මරණීය දණ්ඩනය වැළැක්වීමේ නීති කඩිනමින් පාර්ලිමේන්තුව ගෙන ඒමට උත්සාහ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, වයඹ පළාත් අන්තර් පාඨශාලයීය නිර්මාණ තරඟයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් පිළිගැන්වීම වෙනුවෙන් කුරුණෑගල සර් ජෝන් කොතලාවල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති උත්සවය අමතමින්.

මත්ද්‍රව්‍ය නිවාරණය තේමා කර ගනිමින් පැවති වයඹ පළාත් අන්තර් පාඨශාලයීය නිර්මාණ තරගයේ ජයග්‍රාහකයන්ට ත්‍යාග සහ සහතිකපත් පිළිගැන්වීමයි ජනාධිපති ඇති සිදු කෙරුණේ.

මත්ද්‍රව්‍ය නිවාරණ සතියට සමගාමීව වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතාගේ මගපෙන්වීමෙන් ‘මතින් මිදෙමු – තුටින් හිඳිමු’ තේමාව යටතේ මෙම තරගාවලිය සංවිධාන කළා.

පාසල්, කොට්ඨාස හා පළාත් මට්ටමින් පැවති තරගාවලියේ දී ගද්‍ය, පද්‍ය, ගේය පද රචනා, කෙටි කතා, චිත්‍ර, කථික, කෙටි නාට්‍ය, කෙටි චිත්‍රපට හා ආදර්ශ පාඨ නිර්මාණ යන අංග 09ක් ඔස්සේ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් තරග පවත්වා තිබෙනවා.

එම තරග අංශවලින් ජයග්‍රහණය හිමිකරගත් සිසු සිසුවියන් 1036 දෙනෙකුට සම්මාන සහතික හා ත්‍යාග පිරිනැමීම මෙහිදී සිදු කෙරුණා.

රාජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන දයාසිරි ජයසේකර, එස්.බී. නාවින්න, ශාන්ත බණ්ඩාර, හිටපු පළාත් අමාත්‍යවරු වන අතුල විජේසිංහ, ධර්මසිරි දසනායක, චම්පික රාමනායක, ප්‍රධාන ලේකම් පී.බී.එම්. සිරිසේන, වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විජිත බණ්ඩාරනායක යන මහත්වරු ඇතුළු විදුහල්පතිවරු, දෙමව්පියන් සහ සිසු දරුවන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

Your Comments