තරගයක් ඉතිරිව තිබියදීම නවසීලන්තයට තරගාවලියේ ජය

8

ශ්‍රී ලංකා – නවසීලන්ත තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදීම ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

ඒ, දෙවන පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් ඔවුන් කඩුලු‍ 4ක ජයක් වාර්තා කිරීමට සමත් වීමත් සමගයි.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු‍ 9ක් දැවී ලකුණු 161ක් ලබා ගත්තා.

නිරෝෂන් දික්වැල්ල ලකුණු 39ක් සහ අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 37ක් රැස් කළා.

පන්දු යැවීමේ දී සෙත් රාන්ස් කඩුලු‍ 3ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය ඉනිම නිමා වීමට පන්දු 2ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු‍ 6ක් දැවී සිටියදීයි.

කොලින් දි ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 59ක් සහ ටොම් බෲස් ලකුණු 53ක් රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර සිව්වන කඩුල්ල සඳහා ලකුණු 109ක සබඳතාවයක් ගොඩ නැගුණු අතර, එය ශ්‍රී ලංකාවට එරෙහිව 20යි 20 තරගයකදී නවසීලන්ත පිතිකරුවන් දෙදෙනෙකු වාර්තා කළ හොඳම සබඳතාවයි.

පන්දු යැවීමේ දී අකිල ධනංජය කඩුලු‍ 3ක් ලබා ගත්තා.

තරගයේ අවසන් පන්දුවාරයේ දී නවසීලන්තයට තරගය ජය ගැනීම සදහා ලකුණු 7ක් අවශ්‍ය වූ අතර, පළමු පන්දු දෙකේදී ම කඩුලු‍ 2ක් දැවී යාමත් සමග තරගයේ ජය යළිත් කණ්ඩායම් දෙකටම දෝලනය වුණා.

කෙසේ වෙතත්, තෙවැනි පන්දුවේ දී මිචෙල් සැන්ට්නර් එල්ල කළ පහරකින් උඩ පන්දුව රැක ගැනීම සඳහා කුසල් මෙන්ඩිස් සහ ෂෙහාන් ජයසූරිය උත්සාහ ගත් අවස්ථාවේ දී ඔවුන් දෙදෙනා එකිනෙකා ගැටීම හේතුවෙන් අනතුරක් සිදු වුණා.

එහිදී උඩ පන්දුව රැක ගත් ශෙහාන් ජයසූරියගේ පාද, හතරේ සීමාවෙන් පිටතට යාම හේතුවෙන් එය හයේ පහරක් ලෙස විනිසුරුවන් සටහන් කළා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු රැකීමේ දී දැක් වූ යම් දුර්වලතා තරගය පරාජය වීමට හේතු වූ බවයි ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන්නේ.

Your Comments