ජාතීන් අතර බැඳීම පසක් කොට මෙලොවින් නික්මයන තලවකැලේ ‘වස්තු’ – රිස්වාන් (PHOTOs)

97

ඉහල කොත්මලේ ජලාශයට (තලවකැලේ ජලාශය ට) පැන දිවි හානි කර ගැනීමට උත්සහ කළ තරුණිය බේරා ගැනීමට ගොස් ජිවිතක්ෂයට පත් දෙදරු පියෙකු වන හමිඩ් රිස්වාන්ගේ සිරුර අද පස්වරුවේ ඔහුගේ නිවසට රැගෙන එනු ලැබුවා.

ලිදුල ෆාමස්ටන් කොලනියේ රත්නගිරි ජනපදයේ ඔහුගේ නිවසට සිරුර රැගෙන එන අවස්ථා වේ ප්‍රදේශයේ විශාල පිරිසක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් දේහයට අවසන් ගෞරව දැක්විමට නිවසට පැමිණ සිටියා.

තරුණියගේ දිවි ගලවා ගත් තලවකැලේ පොලිසියේ ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් ප්‍රනාන්දු මහතා ඇතුළු තලවකැලේ පොලිසියේ නිලධාරින් ද දේහයට අවසන් ගෞරව දැක්වූවා.

දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (23) උදැසන 10 ට ෆාමස්ටන් කොලනියේ රත්නගිරි ජනපදයේ පොදු සුසාන භුමියේසිදු කිරිමට නියමිතයි.

සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත් වු නුවරඑලිය මහ රෝහලේ අධිකරණ වෛද්‍යයවරයා විසින් මෙම මරණය දියේ ගිලි හුස්ම සිරව සිදු වු මරණයක් බවට නිගමය කර තිබෙනවා.

දිවි හානි කර ගැනීමට ජලාශයට පැන තිබුණේ 22 හැවිරිදි දෙමළ තරුණියක්.
ඇය බේරා ගැනීමට ඉදිරිපත්වූයේ මුස්ලිම් තරුණයෙක්.
තරුණිය බේරාගත්තේ සිංහල පොලිස් ස්ථානාධිපතිවරයෙක් සහ පොලිස් නිලධාරියෙක්.

මෙම සිදුවීම් මාලාවත් සමග මේ වනවිටත් බොහෝ දෙනා මත පළ කරන්නේ ජාතීන් අතර මෙතරම් බැඳීමක් වෙන රටක දක්නට ලැබේද යන්නයි.

තරුණිය බේරා ගැනීමට ගොස් දිවි අහිමි වූ 32 හැවිරිදි හමීඩ් රිස්වාන් කුඩා දරුවන් දෙදෙනෙකුගේ පියෙක්.
වැඩිමල් දියණිය පවසන්නේ තව කෙනෙකුගේ දිවි බේරාගැනීමට උත්සහ කළ පියා දිවි පිදූ බවයි.
රිස්වාන්ගේ කුඩා පුතු ට තාත්තා මියගොස් ඇති බව හීනයකි.

රිස්වාන් ට ප්‍රදේශවාසීන් අමතන්නේ ‘වස්තු’ යන නමින්.

ඒ තරමට ම රිස්වාන් සැම දෙනාටම වටිනා චරිතයක් බව නොරහසක්.

රිස්වාන්ගේ දරුවන්ට, බිරිඳට පවුලට මෙන්ම ප්‍රදේශය ට පමණක් නොව රටටම ‘වස්තු’ අහිමි වී ඇත.

තලවකැලේ ප්‍රදේශයේම පදිංචි තරුණියක් නිවසින් ගෙනා විවහා මංගල යෝජනාවකට අකමැතිව ඉහල කොත්මලේ ජලාශය හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම අසලින් ජලාශයට පැන සිය දිවි හානි කර ගැනිමට උත්සහ ගත්තේ 21 වන දින උදැසන 10 ට පමණ.

ජලාශයට පැන තිබු තරුණිය ඉහල කොත්මලේ ජලාශය මධ්‍යයේ ගිලෙමින් සිටින අවස්ථාවේ ජලාශය අසල ගොඩනැල්ලක් ඉදි කිරිමේ කටයුත්තක නිරතව සිටි ලිදුල රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි හමිඩ් රිස්වාන් ද ප්‍රදේශවාසීන් සමග සිද්ධිය වූ ස්ථානයට ගොස් තිබුනා.

තරුණිය බේරා ගැනිමට එතෙක් කිසිවෙකුත් ඉදිරිපත්ව අනොමති බව වහා දැනගත් රිස්වාන් ජලාශයට පැන දියේ ගිලෙමින් සිටි තරුණිය බේරා ගැනිමට උත්සහ දරුවා.

ජලාශය මධ්‍යයේ සිටි තරුණිය වෙත පිනා ගිය රිස්වාන් තරුණිය අසළට පිහිනා යාමත් සමග තරුණිය විසින් රිස්වාන් බදාගෙන ඇති බවයි දුටුවන් පවසන්නේ.

ඒ සමගම දෙදෙනාම ජලාශය තුලට ගිලි අතුරුදහන්ව තිබෙනවා.

ටික වෙලාවකින් පසුව තරුණිය පමණක් ජලාශයෙන් මතුවී පාවීමට උත්සහ ගත්තා.

ඒ සමග සිද්ධිය වු ස්ථානයට තලවකැලේ පොලිසියේ ස්ථානාධිපතිවරයා තවත් නිලධාරීන් පිරිසක් සමග පැමිණ තිබුණා.

ස්ථානාධිපතිවරයා ජලාශයට පැන තරුණිය වෙත ළගාවී තරුණිය ගොඩට ගෙන ආවේ තම අනෙක් සගයන් ලබා දුන් කඹයක සහ ටියුබයක ආධාරයෙන්.

ස්ථානාධිපතිවරයා ජලාශයට පැන තරුණිය බෙරා ගැනීමට කටයුතු කළ මොහොතේ තලවකැලේ පොලිසියේ නිලධාරියෙකු වන පො.කො.73627 රුබන් මහතා ද ජලාශයට පැන ස්ථානාධිපතිවරයාට සහයෝගය ලබා දුන්නා.

විනාඩි 10ක් වැනි කාලයක් තුල තරුණියව ගොඩ ගෙන වහා තලවකැලේ රෝහලට යැවීමට පොලිසිය පියවර ගත්තා.

තරුණිය බේරිමට ඉදිරිපත්ව ජලාශයේ ගිලී අතුරුදන්ව සිටි රිස්වාන්, 21 වන දින පස්වරුවේ සොයා ගැනුනේ පොලිස් ජිවිත ආරක්ෂක භටයින් සහ ප්‍රදේශවාසින්ගේ මෙහෙයුමකින්.

(පින්තූර – හැටන් – රංජිත් රාජපක්ෂ)

 

Your Comments