ජනපති සහ ඉන්දීය අගමැති අතර සාකච්ඡා අද

37

ඉන්දියාවේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එමෙන්ම මහත්මා ගාන්ධි සමරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම සඳහා ද ජනාධිපතිවරයා එක් වන බවයි ඉන්දීය ඒ එන් අයි පුවත් සේවය වාර්තා කළේ.

ඉන්දීය සංචාරය ආරම්භ කරමින් ඊයේ දහවල් මෙරටින් පිටත්ව ගිය ජනාධිපතිවරයා ඊයේ පස්වරුවේ නවදිල්ලි නුවරට ළඟා වුණා.

ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස පිළිගනු ලැබුවේ ඉන්දීය රාජ්‍ය ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍ය ආචාර්ය වී.කේ. සිං විසින්.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං සන්දු යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

පිළිගැනීමේ උළෙල වර්ණවත් සංස්කෘතිකාංගයකින් ද අලංකාරවත් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ගේ ආරාධනය පරිදි ජනාධිපතිවරයා සිය පළමු විදේශ සංචාරය සනිටුහන් කරමින් මෙම රාජ්‍ය සංචාරයේ නිරත වන අතර, එහිදී ජනාධිපතිවරයා ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ද හමුවීමට නියමිතයි.

එමෙන්ම ජනාධිපතිවරයා ඉන්දීය ප්‍රභූවරුන් පිරිසක් ද මුණ ගැසී සාකච්ඡා පවත්වනු ඇති.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, විදේශ අමාත්‍යාංශ ලේකම් රවිනාත් ආර්යසිංහ, භාණ්ඩාගාර ලේකම් එස්. ආටිගල, ජනාධිපතිවරයාගේ උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර යන මහත්වරු ද චාරිකාවට එක්ව සිටිනවා.

Your Comments