ජනපතිගෙන් ජගත් පරිසර සංවිධානයට යෝජනා

12

ස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් නොවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ජනපතිවරයා මේ බව සඳහන් කළේ සිංගප්පූරුවේ මරීනා බේ සෑන්ඩ්ස් ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ දී අද ආරම්භ කෙරුණු එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමින්.

මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රමුඛ වගකීම වන්නේ ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරීම බවයි ජනාධිපතිවරයා එහිදී කියා සිටියේ.

පරිසර සංරක්ෂණය උදෙසා ජනාධිපතිවරයා විසින් එක්සත් ජාතීන්ගේ පරිසර සංවිධානයට නව යෝජනා කිහිපයක් ද එහිදී ඉදිරිපත් කළා.

ආහාර නාස්තිය පාලනය කර ගැනීමට කලාපයේ රටවල් එක්ව කටයුතු කිරීම පිළිබද යෝජනාවක් මෙහිදී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියා සිටියේ.

පරිසරය වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට කලාපීය සහයෝගීතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

‘පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සදහා වන නිර්මාණාත්මක විසදුම්’ යන තේමාව යටතේ පැවති සමුළුව සදහා ආසියා ශාන්තිකර කලාපයේ රටවල් 40ක් නියෝජනය කරමින් පරිසර අමත්‍යවරු සහ ඉහළ පෙළේ නියෝජිතයන් එක්ව සිටියා.

සමුළු ශාලාව වෙත පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගනු ලැබුවේ සිංගප්පුරු නියෝජ්‍ය අගමැති Teo Chee Hean, ටුවාලු රාජ්‍යයේ අගමැති Enele Sosene Sopoaga යන මහත්වරුන් ඇතුථ පිරිසක් විසින්.

අනතුරුව ජනාධිපතිතුමා සමුළුව අමතා විශේෂ දේශනය ඉදිරිපත් කරනු ලැබුවා.

පරිසරය සුරැකීම වෙනුවෙන් විශේෂ කැපවීමකින් කටයුතු කරන සහ පරිසරය වෙනුවෙන් ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසකට එළැඹී නායකයෙකු ලෙස ශ්‍රී ලංකා ජනපතිගේ දේශනය මෙහිදී විශේෂ අවධානයට ලක්වූවා.

Your Comments