ජනතා ගැටලුවලට විසඳුම්දීම වෙනුවට ජනපති අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීමට උත්සාහ දරමින් ඉන්නවා

37

ජනතා ගැටලුවලට විසඳුම්දීම වෙනුවට ජනාධිපතිවරයා සිය අභ්‍යන්තර ගැටලු විසඳා ගැනීමට උත්සාහ දරමින් සිටින බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරනවා.

බදුල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ සූදානම ද ඒ අතර වන බවයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අමෙරිකානු පුරවැසිභාවය පිළිබද කිසිවකු ගැටලුවක් ඇති කර නොගතයුතු බවයි නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේ.

මේ අතර, ජනතාව අපේක්ෂා කරන වෙනස රටට ලබාදිය හැක්කේ ගෝඨාභය රාජපක්ෂ මහතාට පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසනවා.

හෝකන්දර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් තවමත් තම පක්ෂය එක්සත් ජාතික පක්ෂයට පාවා දීමට කටයුතු කරමින් සිටින බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා චෝදනා කරනවා.

මහනුවර පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

Your Comments