චම්පක රාමනායක බංග්ලාදේශ කණ්ඩායම ‘අරගෙන’ දිවයිනට එයි (PHOTOs)

387

ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වන බංග්ලාදේශ සංචිතයේ ක්‍රීඩකයින් අද පස්වරුවේ දිවයිනට පැමිණියා.

ඒ බංග්ලාදේශ කණ්ඩායමේ නව පන්දු යැවීමේ උපදේශක චම්පක රාමනායක මහතා ද සමගින්. 

මේ වන තුරු බංග්ලාදේශ කණ්ඩායමට ප්‍රධාන පුහුණු කරුවෙකු යොදවා නැහැ.

ලෝක කුසලාන තරගාවලියෙන් පසු එම කණ්ඩායමේ සියලු පුහුණු කරුවන් ඉවත් කර තිබුණා.

ඒ බංග්ලාදේශය ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දක්ෂතා අතරට නොපැමිණීම හේතුවෙන්.

දැනට ශ්‍රීලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු චන්දික හතුරුසිංහ මහතා බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණු කරු ලෙස ද කටයුතු කළා.

මෙවර ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ටමිම් ඉක්බාල්ට පැවරී තිබෙනවා.

ඒ, නිත්‍ය නායක මෂ්රෆී මොටාසාට පාදයේ ආබාධයක් නිසා මෙම තරගාවලියෙන් ඉවත් වීමට සිදුවීම හේතුවෙන්.

ආබාධය හේතුවෙන් ඔහුට මාසයක පමණ කාලයක් විවේක ගැනීමට සිදු වනු ඇති.

තුන් ඉරියව් ක්‍රීඩක මොහොමඩ් යසිෆුදීන් ද ආබාධයකට ලක්ව ඇති බැවින් මෙම තරග සංචාරයට එක් වන්නේ නැහැ.

ඒ අනුව ටස්කින් අහ්මඩ් සහ ෆර්හඩ් රෙසා ශ්‍රී ලංකාවට එරෙහි බංග්ලාදේශ සංචිතයට එක්ව තිබෙනවා.

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත එක්දින ක‍්‍රිකට් තරගාවලිය සඳහා වන ශ‍්‍රී ලංකා සංචිතයට ක‍්‍රීඩකයන් විසි දෙදෙනෙකු ඇතුළත්ව තිබීම විශේෂත්වයක්.

සංචිතයේ නායකයා ලෙස සුපුරුදු පරිදි දිමුත් කරුණාරත්න කටයුතු කරයි.

බංග්ලාදේශ කණ්ඩායම සමග පුුහුණු තරගය ක‍්‍රීඩා කිරීම සඳහා වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සභාපතිවරයාගේ සංචිත නායකයා ලෙස පත් කර ඇත්තේ නිරෝෂන් දික්වැල්ලයි.

පුහුණු තරගය පැවැත්වෙන්නේ 23 වනදායි.

දෙරට අතර එක්දින ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය 26 වනදා පැවැත්වෙනවා.

දෙවන තරගය 28 වනදාත්, තුන්වන තරගය 30 වනදාත් පැවැත්වීමට නියමිතයි.

සියලු තරග පැවැත්වෙන්නේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී.

 

 

Your Comments