ගෝඨාභයට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීම ගැන පොලීසිය පහදයි

45

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය අවිධිමත් බවට සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක්, අගෝස්තු 14 වන දා පොලිස් මූලස්ථානයට ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසනවා.

ඒ අනුව එම පැමිණිල්ලේ සඳහන් කරුණු පිළිබඳ මූලිකව පරික්ෂා කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත යොමු කර ඇති අතර එහිදී අනාවරණය වූ කරුණු මත වැඩිදුරටත් විමර්ශන සිදු කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම පැමිණිල්ල යොමු කර තිබූ බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමෙන් අනතුරුව, එහිදී ද මූලිකව පරීක්ෂණයක් සිදුකර ඇති අතර කරන ලද පරීක්ෂණයේදී විමර්ශනයක් ආරම්භ කිරීමට තරම් කරුණු ඇති බවට අනාවරණය වී ඇති බව සඳහන්.

එබැවින් ඒ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

විමර්ශනයක් ආරම්භ කිරීම් පිළිබඳ අධිකරණයට කරුණු වාර්තා කිරීම නෛතික අවශ්‍යතාවයක් බැවින් මේ පිළිබඳ විමර්ශනයක් ආරම්භ කළ බවට ඊයේ අළුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරුණු වාර්තා කරමින් බී වාර්තාවක් ඉදිරිපත් කර තිබෙනවා.

විමර්ශනය ආරම්භ කළ බවට පමණක් මෙම බී වාර්තාව මඟින් අධිකරණය වෙත කරුණු වාර්තා කර ඇති අතර වැඩිදුර විමර්ශන සිදුකර වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

Your Comments