ගෝඨාට එරෙහි තවත් නඩුවක් 14 වනදාට කල් යයි
රට යන්න ඉල්ලු අවසරය ගැන නීතිපති කරුණු විමසයි

18

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාග කිරීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය ලබන 14 වන දා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කලා.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් අද එල්.ටී.බී දෙහිදෙණිය, එස්. තුරේයිරාජා සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේයි කැඳවනු ලැබුවේ.
එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම් විභාගය ඔක්තෝබර් මස 11 වන දා සිදුකිරීමට තීරණය කලා
හම්බන්තොට, මැදමුලන, ඩී .ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.
මේ අතර වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගතවීමට අවසර දෙන්නැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථීර ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙන් අවසර ඉල්ලා තිබෙනවා.
ලබන 9 වනදා සිට 12 වනදා දක්වා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා යාමටයි මෝසමක් මගින් ඔහු අවසර ඉල්ලා ඇත්තේ.
ඒ අනුව තමන්ට පණවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස හා දැනට අධිකරණය භාරයේ පවතින විදේශ ගමන් බලපත්‍රය මුදා හරින ලෙසටද ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිබෙනවා.
එමෙන්ම ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස තමන් ලබන 7 වනදා නාමයෝජනා භාරදීමට නියමිත බවද ඔහු විශේෂ අධිකරණයට දන්වා ඇති බවයි නිවුස් 24 අධිකරණ වාර්තාකරු කියා සිටියේ.
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා කල ඉල්ලීම් සම්බන්ධයෙන් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධි නීතීඥවරයා විරුද්ධත්වය පළ නොකල බව ද සදහන්.
කෙසේ වෙතත් වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට යාමට අවශ්‍ය යැයි ප්‍රකාශ කලද ඒ සඳහා අවශ්‍ය ලේඛන ඉදිරිපත් කර නොමැති බවයි රජයේ අධි නීතීඥවරයා සඳහන් කර ඇත්තේ.
ඒ අනුව නීතිපති උපදෙස් ලබාගැනීම වෙනුවෙන් ඔහු අධිකරණයෙන් කල් ඉල්ලා සිටියා.
මෝසම අනිද්දා දිනයේදී යළි කැඳවීමට නියමිතයි.

Your Comments