ගල්ඔය රක්ෂිතයේ හෙක්ටයාර් 100ක ‘වන රෝපා’ [PHOTOs]

12

පසුගිය දශක පහකට ආසන්න යුගයේ පැවති සෑම ආණ්ඩු කාලයකදී ම රටේ වන ඝනත්වය පහළ ගොස් ඇති බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.

පරිසර සංරක්ෂණය සහ වන සම්පත වර්ධනය කර ගැනීම වෙනුවෙන් පසුගිය සිව් වසර තුළ කි‍්‍රයාත්මක කළ වැඩපිළිවෙළ හේතුවෙන් රටේ වන ඝනත්වය යම් ප‍්‍රමාණයකින් වර්ධනය වී ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

අද පෙරවරුවේ හබරණ, ගල්ඔය, රක්ෂිත භූමියේ දී පැවති ‘වන රෝපා’ ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක උත්සවය අමතමින් ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළා.

ජනාධිපති කාර්යාලයේ මෙහෙයවීමෙන් 2015 වසරේ සිට ක්‍රියාත්මක වන ‘පුනරුදය’ ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහනට සමගාමී ව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය සහ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව ඒකාබද්ධ ව සියලු රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල සහභාගිත්වයෙන් ‘වන රෝපා’ ජාතික රුක් රෝප වැඩසටහන ඔක්තෝබර් මාසයට යෙදෙන ජාතික රුක් රෝපණ මාසයේ දී ක්‍රියාත්මක කෙරෙයි.

මේ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සනිටුහන් කරමින් ලංකා බැංකුවේ 80වන සංවත්සරයට සමගාමීව එම බැංකුවේ අනුග්‍රහය යටතේ හබරණ ගල්ඔය රක්ෂිතයේ හෙක්ටයාර් 100ක භූමි ප්‍රමාණයක වනාන්තර ප්‍රතිස්ථාපනය කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබනවා.

රක්ෂිතයේ හායනයට පත් වනාන්තර ප්‍රමාණයෙන් හෙක්ටයාර් 100ක් ආවරණය වන පරිදි පැළ 80,000ක් සිටුවීම එහි ඉලක්කය යි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හබරණ ප්‍රදේශයේ කොළඹ – ත්‍රීකුණාමලය මහා මාර්ගයට යාබදව පවතින ගල්ඔය රක්ෂිතය වන රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ ගැසට් නිවේදනයට ද ජනාධිතිවරයා අත්සන් තැබුවා.

මාතලේ, මහනුවර, කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල හෙක්ටයාර් 9,900ක භූමි ප්‍රමාණයක් වන රක්ෂිත වශයෙන් ගැසට් කිරීම සහ කඩොලාන ප්‍රදේශ හෙක්ටයාර් 14,800ක ප්‍රමාණයක් සංරක්ෂිත හා රක්ෂිත වනාන්තර ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමේ නිවේදනවලට ද මෙහිදී ජනාධිපතිවරයා අත්සන් තැබුවා.

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්.ඒ.සී වේරගොඩ, ලංකා බැංකුවේ සභාපති ජනාධිපති නීතිඥ රොනල්ඞ් සී පෙරේරා යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Your Comments