කොටුවේ උණුසුම් තත්ත්වය තවදුරටත් – කොටුව දුම්රිය පොළට STF ආරක්ෂාව

32

දුම්රිය සේවකයන් අද පස්වරුවේ ආරම්භ කළ විරෝධතාවයට විරෝධය පළ කරමින් දුම්රිය මගීන් ද කොටුව දුම්රිය ස්ථානයේ සහ දුම්රිය පොළ ඉදිරිපිට විරෝධතාවයක් අද පස්වරුවේ ආරම්භ කළා. එහෙම හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානය අවට ප්‍රදේශයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හට ගත්තා.
දෛනික සේවා නිමවා නිවෙස් බලා යාමට පැමිණි දුම්රිය මගින් ආරම්භ කළ විරෝධතාවය හේතුවෙන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පිහිටි ඕල්කට් මාවතේ මං තීරු දෙකම අවහිර කර තිබෙනවා. එසේම ප්‍රදේශයේ ආරක්ෂාවට පොලිසියට අමතරව පොලිස් කැරළි මර්දන ඒකකයද කැඳවා තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විට පොලිස් විශේෂ කාර්ය බලකායද කැඳවා ඇති බවයි නිව්ස්24 වාර්තාකරු කියා සිටියේ.
දුම්රිය මගීන්ගේ ආවේගශීලී හැසිරීම හේතුවෙන් කොටුව දුම්රිය ස්ථානයේ පොදු දේපළවලට සුළු හානි සිදුව ඇති බවත් කොටුව දුම්රිය නැවතුම්පොළේ සිටි දුම්රිය දෙපාර්තමේන්තු සේවකයකුටද මගීන් පහරදී ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර මාතර සිට කොළඹ කොටුවට පැමිණි දුම්රියක් විරෝධතාකරුවන්ගේ භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.
මේ එම තොරතුරු වාර්තා කිරීමට ගිය ඡායාරූප මාධ්‍යවේදීන්ට සහ කැමරාකරුවන්ට දුම්රිය ස්ථානයෙන් පිටතට යන ලෙස මගීන් දන්වා තිබෙනවා. කෙසේ වෙතත් ආවේගශීලී වූ මගීන් පිරිසක් කොටුව දුම්රිය ස්ථානයෙ ්පාලක මැදිරියටද පහර දී ඇති බවයි එහි සිටින දුම්රිය මගීන් කිහිප දෙනෙක් නිව්ස්24 වෙත කියා සිටියේ.
මේ අතර රාත්‍රී 8න් පසුව අවස්ථා දෙකකදී දුම්රිය දෙකක් වේදිකාවට පැමිණෙන බව නිවේදනය කළත් මේ වනතුරුත් දුම්රිය පැමිණ නැති බවයි මගීන් පවසන්නේ.
දුම්රිය වර්ජනය අවසන් වන තෙක් ඕනෑම මාර්ගයක ධාවනය කිරීමට පෞද්ගලික බස් රථවලට අවසර ලබාදී ඇති අතර දුම්රිය වර්ජනය අවසන් වනතුරු ලංගම රියදුරන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා. ලංගම සභාපතිවරයා කියා සිටියේ මගී ප්‍රවාහනය සඳහා යුද හමුදා බස් රථ 26ක් යොදවන බවයි.

Your Comments