කුරුණෑගල රෝහලේ ගින්නට හේතුව අනාවරණ වෙයි

34

කුරුණෑගල රෝහල් ඖෂධ ගබඩාවේ අද(05) පෙරවරුවේ හදිසි ගින්නක් හට ගැනුණා.
පොලිසිය පැවසුවේ පොලිසිය, නගර සභා ගිනි නිවන ඒකකයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ යුද හමුදා නිලධාරීන්, රෝහල් කාර්ය මණ්ඩලයේ සහය ඇතිව ගින්න මැඩපැවැත්වූ බවයි.
ගින්න මැඩ පැවැත්වීමෙන් පසුව සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ මෙම ඖෂධ ගබඩාවේ සේවය කරනු ලැබූ සෞඛ්‍ය කාර්ය සහායකයකු විසින් අධිසාන්ද්‍රණයෙන් යුත් විෂබීජ නාශකයක් වන ටී.සී.එල්. නම් රසායනික ද්‍රව්‍ය අඩංගු භාජන හතරක් ලබාගෙන ඒවා රැගෙන යාමට සූදානම් වන අවස්ථාවේදී එම භාජනයක් තුතළින් හදිසි ගින්නක් හටගෙන ඇති බවයි.
ඇති වූ ගින්න නිවීම සඳහා ජලය බාල්දියක් දැමීමේදී ජලය සමග රසායනික ද්‍රව්‍ය හටගෙන ප්‍රතික්‍රියා කර ගින්න හටගෙන බිම් මහලේ කාමර තුනක් සහ කොරිඩෝවේ ගබඩා කර තිබූ ඖෂධ අඩංගු පෙට්ටිවලට ගිනි ඇවිලී විනාශ වී ගොස් ඇති බව අනාවරණ වූ බවයි පොලිසිය පවසන්නේ.
ගින්න හට ගත් ගොඩනැගිල්ල මහල් හතරකින් යුක්ත එකක් බවත් එය පළමු මහලෙන් ඔබ්බට පැතිරීමට ඉඩනොදී වළක්වා ගැනීමට කටයුතු කරනල ද බවත් පොලිසිය පවසනවා.
එසේම පහත මාලයේ තිබූ ඖෂධ වර්ගවල විශාල ප්‍රමාණයක් විනාශ වීමට ඉඩනොදී ඉවත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා.
එසේම එම ගොඩනැගිල්ලේම තෙවන මහලේ සිරවී සිටි රෝහල් කාර්ය මණ්ඩලයේ සිව් දෙනෙකු නිරුපද්‍රිතව ඉවත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා.
ගින්න හේතුවෙන් කිසිදු පුද්ගලයකුට ජීවිත හානියක් හෝ තුවාල සිදුව නොමැති අතර ගින්නෙන් සිදු වූ අලාභය පිළිබඳ තක්සේරු වාර්තාවක් ලබාගැනීමට හා ඉදිරි විමර්ශන කටයුතු කිරීම සඳහා නිලධාරීන් යොදවා ඇති බවයි පොලිසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

 

Your Comments