කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු පැපිලියානේදී කොටු

26

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට සහ තවත් හිමි නමකට වෙඩි තැබූ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසනවා.

තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශ නිලධාරීන් විසින් පැපිලියාන ප්‍රදේශයේ දී සැකකරුවන් ඊයේ (16) රාත්‍රියේ දී අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ අනුව මේ වන වට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 5ක්.

වෙඩි ප්‍රහාරයට ලක් වු කිරිවෙහෙර රාජමහා විහාරාධිපති නාහිමියන් වැඩිදුර ප්‍රතිකාර සදහා පසුගිය 13දා හම්බන්තොට මහ රෝහලේ සිට ගුවනින් කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන එනු ලැබුවා.

නාහිමියන් 12දා රාත්‍රි 10.15ට පමණ කිරි වෙහෙර වහන්සේ වැද පුදා ගැනීමෙන් පසු ප්‍රධාන ආවස ගෙය දෙසට වැඩම කරමින් සිටිය දී කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ වැඩ සිටින දෙවෙනි මළුවේදි වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබුනා.

වෙඩි ප්‍රහාරයෙන් නා හිමියන් සමග සිටි කතරගම මධ්‍ය මහා විද්‍යාලයේ ආචාර්ය පූජ්‍ය වීදාපොල සෝභිත හිමියන්ද තුවාල ලැබුවා.

නාහිමියන් සහ අනෙක් හිමි නම කතරගම රෝහලට ඇතුළත් කෙරුණු අතර පසුව හම්බන්තොට මහ රෝහලට මාරුකර යැවුනා.

නාහිමියන්ගේ උදරය ප්‍රදේශයට හා දකුණු අතට වෙඩි වැදී ඇති බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

පහතින් දැක්වෙන්නේ උපුටා ගැනීමකි (සිළුමිණ පුවත්පත)

රටම සසල කළ කිරිවෙහෙර නාහිමි ඝාතන ප්‍රයත්තය

හාස්කම් තිබෙන බව ජනතාව අතර කියවෙන කතරගම ගැන පසුගිය සතිය පුරාම කතාබහට ලක් වූයේ කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන්ට පසුගිය 12 වැනිදා රාත්‍රියේ නාදුනන පිරිසක් විසින් කළ වෙඩි තැබීමක් නිසාය. මේ වෙඩි තැබීම සම්බන්ධව විවිධ කට කතා ආරම්භයේදි පෙළ ගැසිණි. කතරගම තිබෙන එක්තරා දේශපාලනඥයකුගේ අතිවිශාල සුපිරි මැදුරක් ගැන ධම්මින්ද හිමියන් විසින් කළ හෙළි කිරීම නිසා මේ වෙඩි තැබීමට අදාළ දේශපාලනඥයා සම්බන්ධ බවට සමාජ ජාල පුරා පැතිර යන්නට විය.

එසේම නා හිමියන් හා පෞද්ගලික ආරාවුල් ඇති කිහිප දෙනකු මේ හා සම්බන්ධ බවටද කතාවක් පැතිර ගියේය. කාන්තා ආරවුලක් ගැනද ඒ සමඟම කතා පැතිර යන්නට විය.

එහෙත් පොලිස්පතිවරයාගේ නියමයෙන් තංගල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පත් කළ පොලිස් කණ්ඩායම් නිසා ඒ කට කතා වෙනුවට මේ සිදුවීම සම්බන්ධව කතාවන් එකින් එක පෙළ ගැසෙන්නට විය.

කතාවේ ආරම්භය දිව යන්නේ මිට වසර ගණනාවකට ඈත අතීතයකටයි. කිරි වෙහෙර භූමියේ ස්ථාපිත මහසෙන් දේවාලයේ පූජාවන් කාලාන්තරයක් තිස්සේ සිදු කර ඇත්තේ එහි කපු මහතා වන අසේල බණ්ඩාර විසිනි. කොබවක ධම්මින්ද හිමියන් කතරගම කිරි වෙහෙරේ විහාරාධිපති ධුරයට පත් වීමට පෙර සිටම විහාරාධිපතිකමට ආරවුලක් ඇති වුවද පසුව ඒ ප්‍රශ්නයද අපවත් වූ විහාරාධිපති හිමියන්ගේ ජ්‍යෙෂ්ඨ හිමිනමට හිමි වන ආකාරයෙන් ධම්මින්ද හිමියන්ට උරුම විය. ධම්මින්ද හිමියන් විහාරාධිපති පදවියට පත් වූ දින සිට කතරගම කිරිවෙහෙර මළුවේ ස්ථාපිත මහසෙන් දේවාලයේ කපු මහතාට පැවසුවේ මහසෙන් දේවාලයේ ආදායම් සම්බන්ධව තමන් වහන්සේට නිවැරැදි වාර්තා සපයා දෙන ලෙසයි.

මේ මහසෙන් දේවාලයේ බැතිමතුන්ගෙන් පිරෙන්නට පටන් ගත්තේ පසුගිය රජය සමයේ සිදු කළ සංවර්ධන කටයුතුත් සමඟින්ය. අසේල බණ්ඩාර කපු මහතාට වැඩි වශයෙන් සැලකිල්ල හිමිවන්නේද ඒ සමයේදී වන අතර ඔහුට මේ සඳහා සුදුසුකම් නොමැති බවට පැතිර ගිය රාවයක් එළියට එන්නේ ධම්මින්ද හිමියන් විහාරාධිපති ධුරයට පත් වීමත් සමඟය. ඒ සමඟම ඇති වන කතා බහ දොස් පරොස් දක්වා දුර දිග යයි. කපු මහතා තමන්ගේ අයිතිය කියා පා විහාරාධිපති හිමියන්ට ප්‍රසිද්ධියේ දොස් නඟා ඇත. විහාරාධිපති හිමියන් විසින් ද කපුවන්ට විහාරස්ථාන භූමියේ අයිතියක් නොමැති බව පවසමින් ප්‍රසිද්ධියේම දොස් පවරන ලදී. මේ ගැටුම අවසානයෙ කතරගම පොලිසිය දක්වා ගියේය. 2016 වසරේ ඔක්තෝබර් 5 වැනිදා ධම්මින්ද හිමියන් විසින් කතරගම පොලිසියේ පැමිණිල්ලක් දමන්නේ තමන්ට අයත් විහාර දේපළ අසේල බණ්ඩාර කපු මහතා විසින් බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින බවයි. එදිනම අසේල බණ්ඩාරද පොලිසියට පැමිණිල්ලක් දමන්නේ විහාරාධිපති හිමියන් තමන්ගේ දේවාලයේ කටයුතුවලට බාධා කරනු ලබන බවයි. පොලිසිය ආරාවුල බේරුම් කිරීමට උත්සාහ දැරුවද එය නිෂ්ඵල වන්නේ දෙපැත්තෙන්ම මස් රාත්තලම ඉල්ලන ෂයිලොක් න්‍යාය නිසාය.

එද දිනකට මහසෙන් දේවාලයෙන් ලක්ෂ 5කට අධික ආදායමක් ලැබෙන බව අපට වාර්තා වේ. ඒ අනුව මහසෙන් දෙවාලයෙන් ලැබෙන මාසික ආදායම ලක්ෂ එකසිය පනහක් පමණ වේ. කතරගම මහ දේවාලයට පසුව අධික ලෙසින් බැතිමතුන් විසින් වන්දනා මාන කරනු ලබන මෙන්ම බාර හාර වන ස්ථානය ලෙසින් මෑත කාලයේදී ප්‍රචලිත වන්නේ මහසෙන් දේවාලයයි. එයට හේතුව වන්නේ කතරගම දෙවියන්ගේ පෙර ආත්මයේ මහසෙන් දෙවියන් ලෙස සිටි බවට ජනතාව අතර මතයක් ගොඩ නැඟීමයි. ඒ හරහා ජනතාව පෙර භවයේ දෙවියන්ටත් බාර හාර වීම ඇරැඹීම නිසා මේ සා අතිවිශාල ලෙසින් මුදල් ගලා එන්නට පටන් ගෙන ඇත.

නාහිමියන් ඒ මුදල් තමන් අතට ගැනීමට උත්සාහ ගන්නේ යැයි උරන වූ අසේල බණ්ඩාර කපු මහතා වරින් වර ඒ සම්බන්ධව නා හිමියන්ට දොස් පවරා ඇත්තේ කාලි යකින්නියට බිලි දෙන බවද පවසමිනි. මේ සම්බන්ධව සමථ කිරීම් සිදු කළ නොහැකි වූ නිසා අවසානයේ අධිකරණය දක්වා මේ ගැටුම දුර දිග ගියේය.

අධිකරණය විසින් එහි තීන්දුව පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ලබා දුන් අතර ඒ අනුව විහාර හා දේවාලගම් පනත යටතේ මහසෙන් දේවාලයේ හිමිකාරිත්වය විහාරාධිපති හිමියන්ට ලැබිය යුතු යැයි හම්බන්තොට අධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නේය. ඒ තීන්දුව සම්බන්ධයෙන් දැඩි ලෙසින් උරන වූ අසේල බණ්ඩාර කපු මහතා තමන්ගේ සොහොයුරකු හා හිටපු හමුදා සෙබළකු වන ‘කළුවා‘ නැමැත්තා සමඟ වරින් වර නා හිමියන්ට දොස් පවරන්නට විය.

ඒ අතර නා හිමියන් වෙනත් කපු මහතකු එහි සේවයට යෙදවීය. මෙයින් තදබල ලෙස කිපුණු කපු මහතා නිරතුරුවම නා හිමියන්ට තර්ජන ගර්ජන පවා එල්ල කෙළේ තමන් කාලාන්තරයක් රැකියාව කළ ස්ථානය යළි ලබා දිය යුතු බවට තර්ජනය කරමිනි. විහාරාධිපති හිමියන්ගෙන් ඔහුට ඒ සඳහා කිසිදු යහපත් ප්‍රතිචාරයක් ලැබුණේ නැත.

නාහිමියන්ට තිබුණු තර්ජන නිසා උන් වහන්සේට පොලිස් හා සිවිල් ආරක්ෂකයන්ගේ ආරක්ෂාව සලසා තිබිණි. ආරක්ෂකයන් සිවු දෙනකු යටතේ සිටි උන් වහන්සේ පසුගිය 12 වැනිදා රාත්‍රී 10.30ට පමණ කිරි වෙහෙර වන්දනාවට වැඩම කරන්නේ සිරිතක් වශයෙන් රාත්‍රී 10.15ත් 10.30ත් අතර කිරි වෙහෙර වන්දනාව පිණිස වැඩම කරන නිසාය. එදින උන් වහන්සේ වන්දනාව පිණිස වැඩම කරන්නේ විහාරවාසී විදාපොළ සෝභිත හිමියන්ද සමඟිනි.

එසේ වන්දනා මාන කර යළි ආවාස ගෙයට වැඩම කරද්දී රාත්‍රී 10.50ට පමණ කිරි වෙහෙරේ දෙවන මළුවේදී උන් වහන්සේට වෙඩි ප්‍රහාර එල්ල විය. වෙඩි ප්‍රහාර එල්ලවීමත් සමගම ඇද වැටුණු උන් වහන්සේත් විදාපොළ සෝභිත හිමි විසින් වහාම කතරගම රෝහලට ගෙන යෑමට කටයුතු කෙරුණ අතර එතැනින් හම්බන්තොට දිසා රෝහලට මාරු කර යවන ලදී. වෙඩි ප්‍රහාරවලින් නාහිමියන්ගේ උදර ප්‍රදේශයට හා දකුණු අතට මෙන්ම පාදයකටද තුවාල සිදු ව තිබිණි.

ඒ අනුව 13 වැනිදා අලුයම උන් වහන්සේගේ උදරයට සැත්කමක් සිදු කරන ලදී. සැත්කමින් අනතුරුව උන් වහන්සේගේ තත්ත්වය යහපත් තත්ත්වයක තිබූ බව හම්බන්තොට රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ධනුෂ්ක පෙරේරා මහතා කීය. කෙසේ හෝ උන් වහන්සේ කොළඹට වැඩම කරවනු ලබන්නේ ජනාධිපතිවරයාගේ උපදෙස් මත ගුවන් හමුදා යානයකිනි. පොලිස්පතිවරයාගේ උපදෙස් මත තංගල්ල නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න මහතාගේ මූලිකත්වයෙන් කණ්ඩායම් 8කින් මේ සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කරන ලදී. පළමුව සීසීටීවී කැමරා දර්ශනවලට අවධානය යොමු කළ විට පොලිසියට කරුණු රැසක් අනාවරණය කර ගත හැකි විය. ඒ අනුව පොලිසිය විසින් අපරාධයට සම්බන්ධ බවට හෙළි වූ තොරතුරු අනුව අපරාධය අපරාධකරුවන් පැමිණි වාහනය සම්බන්ධ විස්තර සොයා ගැනීමට සමත් විය.

එම වාහනය යූ.පී සීඒජී 8531 දරන මාස කිහිපයකට පෙර ලියාපදිංචි කරන ලද ජීප් රථයකි. එය අසේල බණ්ඩාරට අයිති බව තහවුරු වූ විගස ඒ සම්බන්ධව ඍජුවම ඔහුට ඇඟිල්ල දිගු විය. පරීක්ෂණ පොලිස් කණ්ඩායම් අසේල බණ්ඩාරගේ ගෙදර සොයා යන්නට විය. අසේල බණ්ඩාර නිවෙසේ නොසිටි අතර ජීප් රථය ටෙන්ට් රෙද්දකින් වසා තිබිණි. එය දිගු කලකින් ධාවනය නොකරන ලද්දක් බව හැඟවීමට බොහෝ උප්පරවැට්ටි යොදා තිබිණි. පොලිස් කණ්ඩායම් වසා තිබූ ටෙන්ට් රෙද්ද ඉවත් කර පරීක්ෂා කර බැලීමේදී පෙනී ගියේ එය ස්වල්ප වේලාවකට පෙර ධාවනය කර ඒ වන විටත් එන්ජිම අධික රස්නයකින් යුක්තය තිබූ බවයි.

අසේල බණ්ඩාර ආ ගිය තැන් ගැන නිවැසියන්ගෙන් විමසුවද ඔවුන් පැවසුවේ ‘නිලමේ කොහේද වැඩකට ගිය බවකි‘ නිලමේ යන්න අසේල බණ්ඩාරට නිවැසියන් සහ අවට පිරිස් හඳුන්වන නමයි. ඔහුගේ තරම පෙනී යන්නේ ඔහුට අයත් දේපළ දෙස බැලීමෙනි. ගමන් බිමන් යෑමට මේ රථය මෙන්ම තවත් සුපිරි රථ දෙකක්ද ඇත. කතරගම අවට අක්කර ගණනක ඉඩකඩම්ද ඇත. වෙනත් අයගේ නමින් සංචාරක හෝටල්ද පවත්වාගෙන යන බවටද වාර්තාවේ.

ඔහුත් සමඟ මේ අපරාධයට තවත් දෙදෙනකු පැමිණි බවත් එයින් කළුවා නමින් හැඳින්වෙන හිටපු සෙබළා අත්අඩංගුවට ගෙන මේ වන විට පරීක්ෂණ පවත්වයි. අසේල බණ්ඩාරගේ සොහොයුරකුද මේ වන විට අතුරුදන්ව ඇති අතර ඔහුද මේ අපරාධය සඳහා පැමිණ ඇති බවට මේ වන විට පොලිසියට තොරතුරු වාර්තා වී තිබේ.

අසේල බණ්ඩාරගේ නිවෙස පිටුපස දර මඬුවක තිබී අපරාධය සඳහා යොදා ගත් බවට සැක කෙරෙන ෂොට් ගන් වර්ගයේ ගිනි අවියක්, ජීව උණ්ඩ 10ක්, කඩුවක් හා කිනිසි දෙකක්ද පොලිසිය සොයා ගෙන තිබේ. දේවාලයක කපු මහතකුට මේ අවි ආයුධ කුමකටද යන පැනය අප අසන්නේ කාගෙන්ද යන්න විමසිය යුතුය.

එසේම කපු මහකාගේ සොහොයුරා යැයි පැවසෙන රාලහාමි නැමැත්තාද මැණික් ගඟ අසල අනවසර ඉඳිකිරීම් සම්බන්ධව චෝදනා ලැබ නිරුපද්‍රැතව සිටින්නෙකි. අපරාධයට සම්බන්ධ මේ තිදෙනාගෙන් දෙදෙනකුම මේ වන විට සැඟව සිටින අතර අත්අඩංගුවට පත්ව ඇති කළුවා නැමැත්තාගෙන් මේ වන විට තොරතුරු රැසක් අනාවරණය කර ගෙන ඇත. ඒ සියල්ල පරීක්ෂණ මට්ටමේ පවතී.

එසේම අපරාධය සිදු වන අවස්ථාවේදී ආරක්ෂාවට සිවිල් ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු හා පොලිස් නිලධාරියකු ආයුධ සහිතව සිටියද ඔවුන් අපරාධකරුවන් පැන යද්දී වෙඩි නොතැබුවේ ඇයිද යන්න ගැන විශේෂ පරීක්ෂණයක් සිදු කරනු ලබන බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා කිය.

එසේම පත්‍රය මුද්‍රණයට වන අවස්ථාව වන විටත් අසේල බණ්ඩාර සහ අනෙක් සැකකරු සැඟව සිටි අතර ඔවුන් සැඟව සිටින ස්ථාන 20ක් පිළිබඳව පොලිසියට තොරතුරු වාර්තා වී තිබූ බවද පොලිස් අධිකාරිවරයා කීය.

පරීක්ෂා කරන ලද සීසීටීවී දර්ශන මේ වන විට අධීක්ෂණය කරමින් පවතින අතර ඒ සියල්ල අපරාධය සම්බන්ධ වැදගත් තොරතුරු හෙළි කරන්නට සමත්ව තිබේ. පරීක්ෂණවලට බාධා පැමිණෙන නිසා ඒ කිසිදු තොරතුරක් මේ වන විට හෙළි කරන්නට පොලිසිය කටයුතු කර නැත. එසේම සති අන්තය වන විට හෙළි වූ කරුණක් වූයේ අපරාධයට යොදා ගත් ගිනි අවිය බලපත්‍ර හිමි ගිනි අවියක් බවයි. එසේ නම් දැන් සියල්ල පසක් කර ගත හැකිය. මේ ගිනි අවියේ හිමිකරු කවුරුන්දැයි පොලිසිය විසින් දැනටමත් කරුණු අනාවරණය කර ගෙන ඇත. එහි හිමිකරුගෙන් විශේෂ පොලිස් කණ්ඩායම් විසින් දැනටමත් ප්‍රශ්න කිරීමට කටයුතු කර ඇත.

හම්බන්තොට සහකාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් විතානගේ මහතාගේ අධීක්ෂණය යටතේ දිවයින පුරා ස්ථාන රැසක සැකකරුවන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබිණි.

සැකකරු දැන් හඳුනාගෙන අවසානය. කොයි මොහොතක හෝ ඔහු නීතියේ රැහැනට හසු වනු ඇත. දැන් අපට මතුවන ප්‍රශ්නයක් ඇත. එනම් සීසීටීවී කැමරා දර්ශන තිබෙන බව දැන දැනත් තමන්ගේ වාහනයෙන් පැමිණ මෙවන් අපරාධයක් කරන්නට තරම් අඥානකමක් මේ පුද්ගලයාට තිබුණේද යන්නයි. අප පූර්ව විවරණ නොදිය යුතුය. එසේ වුවත් මෙය අසේල බණ්ඩාර විසින් සිදු කෙළේ නම් එය හුදෙක්ම මුදල් මතම නැහෙන්නට සිදු කරන ලද්දක් මිස එයින් පසුව සිදු වන්නේ කුමක්ද යන්න පිළිබඳව ඔහු විසින් සිතා මතා හෝ නොමැති බව ඉතාම පැහැදිලිය. එයින් ඉතාම පැහැදිලි වන්නේ මහසෙන් දේවාලය ඉතා හොඳ ඉල්ලමක් බවයි.

කපු මහතාගේද පැටිකිරිය ගැන අමුතුවෙන් කිව යුතු නැත. ස්වාමීන් වහන්සේට ප්‍රසිද්ධියේම දොස් නඟන්නට තරම් ශක්තියක් ඇති අයෙකු දෙවියන් ඉදිරියේ බැතිමතකු වෙනුවෙන් යදින්නේ කෙසේද යන ප්‍රශ්නය අප ඉදිරියේ ඉතිරිව ඇත. අවසානයේ භික්ෂුවක් ඝාතනය කරන්නට තරම් මිත දැඩි කරගෙන සංවිධානාත්මක ලෙසින් අපරාධයක් සැලසුම් කරන්නට තරම් යම් අයකුට හැකි වූවා නම් ඒ තැනැත්තා දෙස දෙවියන් බලාවිද යන්න අප සිතා බැලිය යුතුය.

මේ අපරාධය කවුරුන් විසින් කළාද යන්න ගැන තවම ස්ථිර ලෙසින් අනාවරණය වී නැත. එහෙත් අපරාධයට පසුබිම් වූ කතාව අපි හොඳින්ම දනිමු. විහාරාධිපති හිමියන් සම්බන්ධයෙන්ද කතරගම ජනතාව අතර එතරම් ප්‍රසාදයක් නැති බව කනගාටුවෙන් වුවද කිව යුතුය. උන් වහන්සෙට කාන්තාවන් සම්බන්ධ නඩුවක්ද අධිකරණයේ විභාග වෙමින් පවතී. එසේම තවත් පැමිණිලි රැසක් සම්බන්ධව විමර්ශන කටයුතු සිදු කෙරේ. අප කතරගම යන්නේ දෙවියන්ගෙන් පිහිටක් පතාය. කිරි වෙහෙර වන්දනා කරන්නේ බුදු රජාණන් වහන්සේ වැඩම කළ සොළොස්මස්ථානයන්ගෙන් එක් වන්දනා ස්ථානයක් නිසාය.

කතරගම දේවාල හා සම්බන්ධ වන අප්‍රසන්න කතා රැසක් පසුගිය දිනවල අපට වාර්තා විය. කඩවර දේවාලයේ කපු මහතකුගේ නිවසක ශීතකරණයේ තිබී දඩමස් හමු වීම එයින් එකකි. එසේම පසුගිය දිනක නිලමේවරයකුට මුත්‍රා පහවන තුරු කපු මහතකු විසින් පහරදීම තවත් අප්‍රසන්න පුවතකි. නිලමේවරුන් හා කතරගම දේවාලයේ කපු මහත්වරුන් අතර ආරවුලක් නිසා ඉතිහාසයේ ප්‍රථම වරට කතරගම දෙවියන්ට අලුයම පූජාව තැබීමද සිදු නොකරන ලදී.

මේ සිදුවීම් අනුව පෙනී යන්නේ කතරගම තිබුණු ගෞරවනීයත්වය මේ වන විට මුදල් තණ්හාව නිසා විනාශ වෙමින් පවතින බවයි. මේ තත්ත්වයට කල් නොයවාම පැහැදිලි විසඳුමක් ලබා දීමට බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා එක්ව රජය කටයුතු කළ යුතුය. පන්සලේ දේවාලයේ පින් කැටයට අත තැබීම සුදුසු නැති බවට කෑ මොර දෙන අපේ මහජන නියෝජිතයෝද මේ අවස්ථාවේ නැගී සිටිය යුත්තාහ. ආදායම නිසි පරිදි නොපෙන්වන අධික සුපිරි විහරණයක් ගෙවනු ලබන පිරිස් විසින් මේ ආකාරයේ සිදු කරනු ලබන චණ්ඩිකම් මෙයින් නවතින්නේ නැත.

එහෙයින් පූජනීය ස්ථානවල ගෞරවය කෙලෙසමින් සිදු කරනු ලබන මෙවන් සිදුවීම් හරහා අපේ රටේම ගෞරවයට හානි සිදුවීම වැළැක්විය නොහැකිය. තායිලන්තයේ මෙන් අපේ රටේද විහාරාධිපතිවරු වෙනුවට බාරකාර විහාරාධිපතිවරු පත් කළ යුතුය. ආදායම් පිළිබඳ නිසි ලෙසින් වාර්තා සකස් කිරීමට කටයුතු කළ යුතුය. දේවාලද ඒ අයුරින් අධීක්ෂණයට පත් කළ යුතුය. විහාරගම් හා දේවාල පනත සංශෝධනයට කාලයක් තිස්සේ කටයුතු කෙරුණද ඒ සියල්ල හමස් පෙට්ටියේය. එයින් ඒ සියල්ල එළියට නොගතහොත් අනාගතයේ මීටත් වඩා දරුණු තත්ත්වයන් නිර්මාණය වීම වැළැක්විය නොහැකිය.

 – තාරක වික්‍රමසේකර –

Your Comments