‘කැවුමා’ගේ සම්බන්ධයට තුෂාරි සොයයි

123

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින කැලුම් ඉන්දික සම්පත් නොහොත් ‘කැවුමා’ගේ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ තුෂාරි නම් සැකකාරිය පිළිබඳ පොලිසිය මහජනතාවගෙන් තොරතුරු ඉල්ලා සිටිනවා.

මොරටුව, කටුබැද්ද ප්‍රදේශයේ පදිංචි 47ත් හැවිරිදි සැකකාරිය මහඋඩුවගේ දොන් නිරෝශා නිල්මිනි බවයි පොලිසිය පැවසුවේ.

ඇය පිළිබඳ තොරතුරු කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට 071 8591589 ඔස්සේ ලබා දිය හැකියි.

මාකඳුරේ මදූෂ්ගේ සමීපතමයෙකු වන ‘කැවුමා’ නමැති අපරාධ කල්ලි සාමාජිකයා අත්අඩංගුවට ගැනුණේ දියමන්ති කොල්ලය සම්බන්ධයෙන්.

ඔහු සැඟව සිටි බව පැවසෙන නිවසෙන් හෙරොයින් කිලෝ 177 ග්‍රෑම් 464ක් පසුගියදා 11 දා සොයා ගත්තා.

මේ අතර එම නිවසේ තිබී මාකඳුරේ මදූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ දර්ශන ඇතුළත් සී.ඩී.තැටියක්, ජංගම දුරකතන 25ක්, සිම්පත් 129ක් සහ ජාතික හැඳුනුම්පත් 16ක්,T 56 උණ්ඩ 3000ක් සමඟ පිස්තෝලයක් ද සමග සැකකරුවන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගැනුණා.

‘කැවුමා’ මෙම නිවසේ පහත මාලය කුලියට ගෙන තිබුණු අතර කුලී මුදල් ලබා දී ඇත්තේ මාකඳුරේ මදූෂ් විසින් බවයි පැවසෙන්නේ.

නිවසේ හිමිකරුට ලබා දී ඇති අත්තිකාරම රුපියල් ලක්ෂයක්.

නිවසේ මාසික කුලිය රුපියල් 25,000ක්.

නිවස කුලියට ගෙන ඇත්තේ පසුගිය වසරේ ජූලි මාසයේදී.

රුපියල් කෝටි 500 ක් පමණ වටිනා බව කියන දියමන්තිය පන්නිපිටිය ප්‍රදේශයේ දී සොරාගත් බව කියන ‘කැවුමා’ අත්අඩංගුවට ගත් බවට නිවෙසේ හිමිකරු මාධ්‍ය ඔස්සේ දැනගැනීමෙන් පසු, ඒ පිළිබඳ 119 හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ලබා දී තොරතුරු ලබා දී ඇති බවයි කියවෙන්නේ.

නමුත් නිවෙසට පොලීසිය නොපැමිණි බව ද පැවසෙනවා.

කෙසේ වෙතත් සැකකරුගෙන් කළ ප‍්‍රශ්ණ කිරීම්වල දින කිහිපයකට පසු, ඔහු නවාතැන් ගෙන සිටි මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ නිවෙස වැටලීමට පොලිස් විශේෂ කාර්යය බලකාය පසුගියදා (11) කටයුතු කළා.

දියමන්තිය පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී පසු ගිය 05 දා සොයාගැනුණු බව පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පැවසුවා.

Your Comments