කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – පළමුව පහරදෙයි – මිනෝද් භානුකට එක්දින වරම්

20

පකිස්ථානය සමග තුන්වන සහ අවසන් එක දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක ළහිරු තිරිමාන්න දිනා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

එක්දින තරගාවලිය සමව අවසන් කර ගැනීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට අතිශය තීරණාත්මකයි.

කරච්චි ජාතික ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 3 ක් සිදු කර තිබෙනවා.

ඒ අනුව මංගල එක්දින තරග වරම් දිනා ගැනීමට කඩුලු රකින මිනෝද් භානුකට අවස්ථාව උදාවුණා.

භානුකට එක්දින වරම් දිනා ගැනීමේදී එය සංකේතවත් කෙරෙන එක්දින කැප් තොප්පිය පිරිනැමුණේ ශ්‍රී ලංකා කණ්ඩායමේ කලමනාකරු අසන්ත ද මෙල් මහතා විසින්.

ඒ අනුව මිනෝද් භානුක ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගත් 192 වැන්නා ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.

වමතින් පිත්ත හසුරුවන භානුක කරුණෑගල මලියදේව විදුහල නියෝජනය කරමින් ජාතික තලයට පැමිණියා.

මිනෝද් කණ්ඩායමට පැමිණීමේදී දෙවැනි තරගයේදී කඩුලු රකින්නා ලෙසින් කටයුතු කළ සධීර සමරවික්‍රමට සිය ස්ථානය අහිමිවී තිබෙනවා.

මේ අතර ඕෂධ ප්‍රනාන්දු වෙනුවට ඇන්ජලෝ පෙරේරාද, ඉසුරු උදාන වෙනුවට ලක්ෂාන් සඳකැන්ද අවසන් 11 දෙනා අතර ස්ථානය දිනාගැනීමට සමත්වූවා.

තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටින පාකිස්තානු කණ්ඩායමේ අද තරගයේදී වෙනස් කම් 2ක් සිදු කර තිබෙනවා.

දෙවැනි තරගය අතරතුරදී තුවාල ලැබූ ආරම්භක පිතිකරු ඉමාම් උල් හක් සහ ඉමාඩ් වසීම් අද තරගයට ක්‍රීඩා කරන්නේ නැහැ.

ඔවුන් වෙනුවට කැඳවා ඇත්තේ අබීඩ් අලී සහ මොහොමඩ් නවාස්.

ශ්‍රී ලංකා පිල –
1. ළහිරු තිරිමාන්න
2. ධනුෂ්ක ගුණතිලක,
3. අවිශ්ක ප්‍රනාන්දු
4.ඇන්ජලෝ පෙරේරා
5. මිනෝද් භානුක
6. ෂෙහාන් ජයසූරිය
7. දසුන් ශානක
8. වනිඳු හසරංග
9. ලක්ෂාන් සඳකැන්
10. ළහිරු කුමාර
11. නුවන් ප්‍රදීප්

පාකිස්තානු පිල –
1. ෆකාර් සමාන්
2. අබීඩ් අලී
3. බාබර් අසාම්
4. හැරිස් සොහෙල්
5. ඉෆ්තිකාර් අහමඩ්
6. ශෆ්‍රාස් අහමඩ්
7. මොහොමඩ් නවාස්
8. ශාදාබ් ඛාන්
9. වහාබ් රියාස්
10. මොහොමඩ් ආමර්
11. උස්මාන් ශින්වාරි

Your Comments